Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගී වන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගීවීමට 2022 ඔක්තෝබර් මස 25 වන දින කොළඹ වරායට සේන්දු වූ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ සහ සිදුරළ යන නෞකාවන් සමඟ පැවැත් වූ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව 2022 ඔක්තෝබර් මස 26 වන දින දිවයිනෙන් පිටත් විය.

ඒ අනුව, මෙම යුද නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්වන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඔ වරායේදී සිදුකෙරිණි. අනතුරුව, කොළඹ වරායට ඔබ්බෙන් වූ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී, ශ්‍රීලංකා නාවික නෞකා සයුරළ සහ සිඳුරළ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදුකෙරුණු අතර, එහිදී නෞකා හැසිරවීම හා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර භාණ්ඩ හුවමාරුව, නෞකා අතර පණිවිඩ හුවමාරුව, නෞකා මතට හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීම සහ නෞකා අතර ආචාර සමාචාර සිදුකිරීම යන නාවික අභ්‍යාසයන් සිදුකරන ලදි.

විදේශීය නාවික හමුදාවන් සමඟ සිදුකරන මෙවැනි නාවික අභ්‍යාස මඟින් ලබාගන්නා දැනුම හා අත්දැකීම්, ඉදිරියේදී සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහත් පිටුවහලක් වනු ඇත.