නාවික හමුදාවට මුදල් ලබාදී නීතියෙන් ගැලවීමට තැත් කළ පිරිසක් නීතියේ රැහැනට හසුකර දුන් නාවික පුද්ගලයන් නාවික හමුදාධිපති ගේ ඇගයීමට

ත්‍රිකුණාමලය පුල්මුඩේ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 26 වන දින පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනෙකු (03) මුදවා ගැනීම සඳහා නාවික පුද්ගලයන් වෙත මුදල් ලබාදීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන නීතියේ රැහැනට හසුකරදුන් නාවික පුද්ගලයින්ගේ සේවය අගයමින්, අද (2022 ඔක්තෝබර් 28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඔවුන් වෙත ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි සහ වළගම්බා ආයතනයන් එක්ව නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ යාත්‍රා යොදාගනිමින් පුල්මුඩේ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 26 වන දින පස්වරුවේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ ඩයිනමයිට් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් නීති විරෝධී ධීවර රැකියාවේ යෙදුණු පුද්ගලයින් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එහිදී, නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව නිදහස් කරන ලෙස රුපියල් ලක්‍ෂයක (රු. 100,000.00) මුදලක් අල්ලසක් ලෙස ලබාදීමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් ද එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අනතුරුව, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පස්දෙනා(05) සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඇතුළු ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, රුපියල් ලක්‍ෂයක (රු. 100,000.00) මුදල පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

රාජකාරියට කැපවීම, නිර්භීතභාවය සහ අවංකභාවය ප්‍රකට කරමින්, තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා, ක්‍ෂණිකව ක්‍රියාත්මක වෙමින් නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීමට පියවර ගැනීම සහ බාහිර සමාජය ඉදිරියේ නාවික හමුදාවේ කීර්තිනාමය ආරක්‍ෂාවන පරිදි කටයුතු කිරීම අගයකරමින්, එම මෙහෙයුම සිදුකිරීමට දායක වූ පාලක ප්‍රධාන සුළු නිලධාරී එච්එම්එස් කුමාර, නායක නැවි ඩීපීජීඒඑන් ජයසේන සහ බලනැවි එස්ඩීඩීඑල්ටී දිසානායක යන නාවික හමුදා පුද්ගලයින් වෙත නාවික හමුදාධිපති විසින් මෙලෙස ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කිරීම සිදුකෙරිණි.