නාවික හමුදාවේ දායකත්වයෙන් තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම උත්කර්ෂවත් අයුරින් පවත්වයි

තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ බැති බර දායකත්වයෙන් 2022 ඔක්තෝබර් මස 29 සහ 30 දින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානය පිහිටි පුද බිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. ඒ අනුව, අතීතයේ මහරහතුන් වහන්සේලා වැඩමවා වදාළ මෙම පුද බිමෙහි ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයෙන් හා නාවික හමුදා පූර්ණ ශ්‍රමදායකත්වයෙන්, 2021 වර්ෂයේ අගෝස්තු මස 05 වන දින ආරම්භ කරන ලදි. එම ප්‍රතිසංස්කරණ කටයුතු උසස් අන්දමින් නිමකර එම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කර සැදැහැවත් බොදු බැතිමතුන්ගේ වන්දනාමානය පිණිස සසුනට පූජා කිරීමේ පුණ්‍යමහෝත්සවය ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් 2022 සැප්තැම්බර් මස 18 වන දින සිදු කෙරිණි.

ඓතිහාසික කිතුල්කොටේ ආරණ්‍ය සේනාසනය ලෙස ද සැදැහැවත් බෞද්ධයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මෙම රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ, වාර්ෂික වස් ආරාධනා කිරීමේ සහ කඨින චීවර පූජා කිරීමේ පුණ්‍යකර්මය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් සිදුකරනු ලබයි.

ඒ අනුව, මෙවර කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය එම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන නාහිමිගේ අනුශාසනා පරිදි නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මඟපෙන්වීම මත දකුණු නාවික විධානය සහ නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලදි.

දකුණු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් මෙම කඨින චීවරය 2022 ඔක්තෝබර් මස 20 වන දින සිට දකුණු නාවික විධානයේ ආයතන වෙත වැඩම කරවා එම ආයතනයන්ට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ වන්දනාමානය පිණිස අවස්ථාව සලසන ලද අතර, 2022 ඔක්තෝබර් මස 29 වන දින මෙම කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ බෝධි පුජා පිංකමක් සහ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි. අනතුරුව, 2022 ඔක්තෝබර් මස 30 වන දින අළුයම හම්බන්තොට, ශ්‍රී ලංකා නාවික නෞකා කාවණ්තිස්ස ආයතනයේ සිට කිතුල්කොටේ සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථානය දක්වා විශේෂ රථයකින් කඨිණ චීවරය වැඩම කරවන ලදි. අනතුරුව, දකුණු නාවික විධානය විසින් සංවිධානය කළ විචිත්‍රවත් පෙරහැරක් මඟින් කඨින චීවරය කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා බෞද්ධාගමික වත් පිළිවෙත් සිදු කරන ලද අතර, එහිදී ගරුතර මහා සංඝරත්න‍ය 36 නමක් විෂයෙහි දහවල් දානය හා පිරිකර පූජා කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතනී, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

තවද, කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානය වෙත පැමිණෙන බැතිමතුන්ගේ වන්දනාමානය පිණිස අඩුපාඩුවක්ව පවතින බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව එම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය වලස්මුල්ලේ ගුණරතන නාහිමි විසින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති තුමිය වෙතින් ඉල්ලීමක් සිදුකරන ලදි. ඒ අනුව, කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවේ සංඝෝපස්ථායක, දියතලාවේ නිරෝධානන්ද ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙන්, ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රධාන අනුශාසක අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ අනුමැතිය මත කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කිරීම සඳහා කඩුවෙල මහමෙව්නා භාවනා අසපුව වෙතින් නාවික හමු‍දා සේවා වනිතා ඒකකය වෙත බුදු පිළිම වහන්සේ නමක් ලබාදීම 2022 ඔක්තෝබර් මස 12 වන දින සිදුකෙරිණි. අනතුරුව එම බුදුපිලිම වහන්සේ 2022 ඔක්තෝබර් මස 20 වන දින දක්වා නාවික හමුදාධිපතිගේ නිල නිවසේ තැන්පත් කර බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකිරීමෙන් අනතුරුව, දකුණු නාවික විධානය වෙත වැඩම කරවීම සිදුකෙරිණි. ඒ අනුව, මෙම බුදුපිළිම වහන්සේ කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානය වෙත පූජා කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 30 වන දින සිදුකෙරිණි.

මෙම කඨිණ පුණ්‍ය මහෝත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවි රණසිංහ, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් සහ බැතිමතුන් පිරිසක්ද සහභාගි වී සිටියහ.