නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ලබාදෙන සේවාවන් පුළුල් කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව, නාවික හමුදා පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුභසාදනය වෙනුවෙන් වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත සේවා වනිතා රූපලාවන්‍යාගාරයේ, මල් සැරසිලි ඒකකයේ සහ බතික් නිෂ්පාදන මධ්‍යස්ථානයේ සේවාවන් පොදු ජනතාවටද සහනදායි මිලකට ලබාගනීමට හැකිවන පරිදි පුළුල් කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, වැලිසර මහබාගේ සේවා වනිතා රූපලාවණ්‍යාගාරය මගින් කාන්තාවන්ගේ සියළු රූපලාවන්‍ය අවශ්‍යතා ඉහල ගුණාත්මක බාවයකින් හා සහනදායි මිලකට, මනාව පුහුණුව ලද ක්ෂේත්‍රයේ පළපුරුදු ශිල්පීනියන් වෙතින් පහසුවෙන් ඉටුකරගැනීම සඳහා එහි නවීනතම උපකරණ හා උපාංග සහිතව පහසුකම් පුළුල් කර ඇත.

එමෙන්ම, සේවා වනිතා මල් සැරසිලි ඒකකය මඟින් විවාහ මංගල්‍යයන් ඇතුළු ජීවිතයේ වැදගත් අවස්තාවන් සහ ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා පුළුල් පරාසයක මල් සැරසිලි සේවාවන් ලබාගැනීමේ හැකියාව ඇත.

තවද, සේවා වනිතා බතික් නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් උසස් තත්වයේ බතික් සාරි, කමිස, සරම් ඇතුළු රෙදිපිළි සහ විචිත්‍රවත් විසිතුරු නිර්මාණ වෙළඳපොලේ ඇති මිලට වඩා බෙහෙවින් අඩු මිලකට මිලදී ගැනීමට හැකිවන පරිදි කටයුතු සූදානම් කර ඇත.