ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ P 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ) දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව අද උදෑසන (2022 නොවැම්බර් 02) කොළඹ වරාය වෙත සේන්දු විය. කොළඹ වරාය වෙත සේන්දු වූ පී 627 නෞකාව පිළිගැනීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ගේ ආරාධනයෙන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලි චන්ග් මැතිණිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.

සාගර කාලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ අරමුණින්, ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම 2021 ඔක්තෝබර් මස 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ, ‘සියැටල්’ වරායෙහි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක කඳවුරේදී සිදු කෙරුණු අතර, එදින සිට පී 627 ධජ අංකය යටතේ මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් විය.

ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර 2005 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ (පි 621) සහ 2018 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ (පි 626) යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් සාගර කාලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ අරමුණින් ලබා දී ඇති අතර, එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස පී 627 නෞකාව ලබා දීම සනිටුහන් වෙයි.

‘Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මිටර 115ක්, උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක් ද එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්‍ෂණික උපාංග හා පහසුකම් වලින් සමන්විත වේ. එමෙන්ම මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදුකළ වකවානුවේ, එරට මුහුදු කළාපයේ සිදු වූ නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය, නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත.

පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2021 ඔක්තෝබර් මස 26 වශයෙන් භාරගැනීමෙන් අනතුරුව, පි 627 නෞකාවේ නම් කල අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ නෞකාවේ පළමු කාර්ය මණ්ඩලයට අයත් 130 දෙනෙකුගෙන් සමන්විත නැව් මුළුව විසින් මාස 10 ක පමණ කාලයක් නෞකාව සම්බන්ධ පුහුණු කටයුතු සහ ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නෞකාවේ නවීකරණ කටයුතු සිදු කරන ලදී.

පී 627 නෞකාවේ නැව් මුළුවේ පුහුණු කටයුතු සහ නෞකාවේ නවීකරණ කටයුතු සම්පූර්ණ කර , 2022 සැප්තැම්බර් මස 03 වන දින සිය මව් වරාය බලා යාත්‍රා කිරීම ආරම්භ කෙරිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටල් වරායෙන් ගමන් ආරම්භ කල පී 627 නෞකාව ශාන්තිකර සාගරය හා ඉන්දියානු සාගරය ඔස්සේ මාස දෙකක පමණ වූ දීර්ඝ මුහුදු ගමනකින් පසු අද (2022 නොවැම්බර් 02) කොළඹ වරායට සේන්දු වූ අතර, එම මුහුදු ගමන ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ නාවික හමුදා නෞකාවක් යාත්‍රා කල දීර්ඝතම මුහුදු ගමන බවට සනිටුහන් විය. එම දීර්ඝ මුහුදු ගමන් මගෙහිදී ඇමරිකාවේ හවායි හී හොනොලුලූ (Honolulu) වරාය, ඇමරිකාවේ ගුවාම් හී(Guam) අප්‍රා (Apra)වරාය, පිලිපීනයේ මැනිලා (Manila) වරාය හා සිංගප්පූරුවේ චැංගි (Changi) යන වරායන් වෙත සෙන්දුවී නෞකාවට අවශ්‍ය සැපයුම් හා සේවා අවශ්‍යතා ලබාගැනීම සිදුකෙරිණි.

කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව පී 627 නෞකාවේ නම් කළ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති වෙත රපෝර්තු කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් ගරු ආරක‍්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සම්භාවණීය ආරාධිතයන් පී 627 නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවාරයක් සඳහා කැඳවාගෙන යාමට කටයුතු කෙරිණි. තවද, පී 627 නෞකාවේ අණදෙන නිලධාරී විසින් එහිදී ගරු ආරක‍්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සම්භාවණීය අමුත්තන් වෙත සමරු තිළිණ පිරිනැමීමටද කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් හත් ගුණයක් විශාල වූ මෙරට අනන්‍ය ආර්ථික කළාපයෙහි ඇති සාගරික සම්පත් ආරක්‍ෂා කිරීම, සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම, නාවික හා ධීවර ප්‍රජාවට සහන සැළසීමේ මෙහෙයුම් සිදු කිරීම, ඉන්දියන් සාගරය ඔස්සේ ඇති නාවික ගමන් මාර්ග සඳහා ආරක්‍ෂාව සැපයීම ඇතුළු සාගර කළාපය ඔස්සේ සිදු කෙරෙන ආර්ථික කටයුතු ආරක්‍ෂිතව සිදු කිරීමේ ජාතික අභිලාෂය ශාක්ෂාත් කර ගැනීම උදෙසා ඉදිරියේදී මෙම නෞකාව කාර්යක්‍ෂමව යෙදවීමට නාවික හමුදාව අපේක්‍ෂා කරයි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස මෙරට සාගර කළාපයේ ආරක්‍ෂාවේ නියමුවා ලෙස කටයුතු කිරීමේදී නාවික හමුදාවේ නෞකා බළඇණිය ඉහළ සංචරණ ධාරිතා‍වයකින් සහ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවයකින් යුත් නෞකාවන් ගෙන් සමන්විත වීම කාලීන අවශ්‍යතාවයකි. මෙවැනි ඉහළ සංචරණ ධාරිතාවයකින් යුත් නෞකා අත්පත් කර ගැනීම තුලින් දේශයේ සාගරික ආරක්‍ෂක අභිලාෂයන් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද P 627 කොළඹ වරාය වෙත පිළිගැනීමේ අවස්ථාව සඳහා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ඇතුළු සම්භාවනීය ආරාධිතයන්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල්, ධම්මික කුමාර ඇතුළු විධාන ආඥාපති වරුන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ P 627 නෞකාවේ නැව්මුළුවේ පවුල්වල සාමාජිකයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.