නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන සිය වසර 35 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 නොවැම්බර් 03) දින විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන වෙත උපන් දින සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද කෙරිණි. සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන පිරිනමන ලදි.

1987 වර්ෂයේදී 17 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, නාවික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ හා වැඩ බලන අධ්‍යක්‍ෂ නාවික අවි, වැඩ බලන අධ්‍යක්‍ෂ නාවික ආහාර හා නිළ ඇඳුම්, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්ෂ නාවික මැරීන් විශේෂ බලකා, අධ්‍යක්‍ෂ නාවික විදේශ සහයෝගීතා හා අධ්‍යක්‍ෂ නාවික සමුද්‍රීය ආවේක්‍ෂණ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.