අන්තර් විධාන සරඹ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය අද (2022 නොවැම්බර් 05) පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

වත්මන් නාවික හමුදාධිපති 2010 වර්ෂයේ එවකට අධ්‍යක්‍ෂ නාවික අවි වශයෙන් කටයුතු කරන වකවානුවේ, නාවික හමුදා මූලස්ථානය වෙත ඉදිරිපත් කරන ලද සංකල්පයකට අනුව අන්තර් විධාන සරඹ තරඟාවලිය 2011 වර්ෂයේ සිට නාවික හමුදාව විසින් පවත්වනු ලබයි. ඒ අනුව, මෙවර 10 වන වරට පවත්වන ලද අන්තර් විධාන සරඹ තරඟාවලිය සඳහා නැගෙනහිර, බටහිර, උතුරු, වයඹ, උතුරු මැද, දියත්, දකුණු, ගිණිකොණ සහ පුහුණු යන විධානයන් නියෝජනය කරමින් කණ්ඩායම් 09 ක් සහ කාන්තා නාවිකයින් නි‍යෝජනය කරමින් එක් කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් 10 ක් සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ නාවික හමුදාධිපති විසින් තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන ප්‍රදානය කිරීම සිදු කෙරිණි. ඒ අනුව, මෙවර අන්තර් විධාන සරඹ තරඟාවලියේ සමස්ථ ශූරතාවයට හිමි කුසලානය දකුණු නාවික විධානය විසින් හිමි කර ගත් අතර, එහි අනු ශූරතාවය පුහුණු නාවික විධානය විසින් හිමි කර ගන්නා ලදී. සමස්ථ තරඟාවලියේ දක්ෂතම අණදෙන්නාට හිමි කුසලානය දියත් විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් මෝදිත අබේකෝන් විසින් හිමි කර ගන්නා ලද අතර, හොඳම පුහුණු සරඹ උපදේශක ලෙස සමූහ ප්‍රධාන සුළු නිලධාරී ඩබ්ඒඒ රංගන විසින්ද, දක්‍ෂ ලෙස සරඹ සිදුකළ නාවිකයා ලෙස නායක නැවි බීඑම්පීඑස් කරුණාතිලක විසින් ද එහිදී නාවික හමුදාධිපති වෙතින් කුසලාන හිමිකරගන්නා ලදි.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, සරඹ යනු විනයගරුක භාවයේ ප්‍රමුඛතම මූලාශ්‍රය බව ප්‍රකාශ කරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධීපති, නාවිකයින් විනයගරුක කණ්ඩායමක් ලෙස හැසිරවීම සඳහා සරඹ මහත් පිටුවහලක් වන බවත්, සෑම හමුදා පුද්ගලයෙකුගේම ආත්ම අභිමානය හා ආත්ම විශ්වාසය නඟා සිටුවීමට සරඹ දායක වන බවත්, එමඟින් තම ඒකකයේ, ආයතනයේ හෝ නෞකාවේ අභිමානය ඉහල නැංවීමෙන් ත්‍රිවිධ හමුදාවම පොදු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන බවත් පවසන ලදී. නිල ඇඳුම නිසි ලෙස පරිශීලනය කිරීම සඳහා අවශ්‍ය නිසි කායික යෝග්‍යතාවය පවත්වා ගැනීම සඳහා මෙන්ම, විනයගරුක හමුදා පුද්ගලයෙකු බිහි කිරීම සඳහා සරඹ තුළින් සුවිශේෂි දායකත්වයක් ගෙන දෙන බව මෙහිදී නාවික හමුදාධිපති විසින් අවධාරණය කරන ලදී.

1985 වර්ෂයේ ශිෂ්‍යභට නිලධාරීන් ලෙස තම කණ්ඩායම පුහුණු කල ‍පාලක ප්‍රධාන සුළු නිලධාරී කරුණාරත්න, සමූහ ප්‍රධාන සුළු නිලධාරී රත්නතුංග සහ නායක නැවි අමිත් යන සරඹ උපදේශකයන්ගේ සේවය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කල නාවික හමුදාධිපති, මෙම අන්තර් විධාන සරඹ තරඟාවලිය සඳහා සහභාගී වී සිටින නාවිකයින්ද ඉදිරියේදී වැඩිදුර වෘත්තීය පුහුණුව ලබමින් සරඹ උපදේශකයින් ලෙස නිලධාරීන් පුහුණු කිරීම සඳහා අවතීර්ණ වනු ඇති බව පවසන ලදී.

අන්තර් විධාන සරඹ තරඟාවලිය සඳහා නාවිකයන් පුහුණු කරවූ උපදේශක මණ්ඩලය වෙත සහ ඔවුන් අධීක්ෂණය කරමින් තරඟාවලිය සාර්ථකව පැවැත්වීමට ඇප කැප වූ නිලධාරීන් හටත් සිය ප්‍රශංසාව පළ කළ නාවික හමුදාධිපති, මෙවැනි සරඹ තරඟාවලි සඳහා සහභාගී විම මඟින් ලබා ගන්නා පුහුණුව, අත්දැකීම් සහ කණ්ඩායම් හැඟිම තුළින් ඉදිරි නාවික ජීවිතය සාර්ථක කර ගැනීමටත්, නාවික හමුදාවේ අභිලාෂයන් කාර්යක්ෂව හා ඵලදායී ලෙස ඉටු කීරීමටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම තරඟාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් කණ්ඩායම් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී.

එමෙන්ම, දක්ෂතම සරඹ කණ්ඩායම තේරීම සඳහා සහය වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ඇතුළු සරඹ උපදේශක වරුන් වෙතද සිය කෘතඥතාවය පළ කිරීමට එහිදී නාවික හමුදාධිපති විසින් කටයුතු කරන ලදී.

තවද, 2022 අන්තර් විධාන සරඹ තරඟාවලිය උසස් අන්දමින් සංවිධනය කීරීම සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙ‍හෙයුම්, අධ්‍යක්‍ෂ නාවික අවි ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙතද සිය ප්‍රශංසාව පළ කිරීමට එහිදී නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම, නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විධාන නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.