සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

අනුරාධපුර පූජා භූමියේ ඉදි කරන ලද සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය 2022 නොවැම්බර් මස 03 සහ 04 යන දෙදින පුරා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

මෙම කඨින පුණ්‍ය මහෝත්සවය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ භාරකාර මණ්ඩලය විසින් බෞද්ධාගමික වත් පිළිවෙත් වලට අනුකුලව පවත්වන ලදී. ඒ අනුව, මෙම කඨින පුණ්‍ය මහෝත්සවය ආරම්භ කරමින් 2022 නොවැම්බර් මස 03 වන දින ආරක්‍ෂක ලේකම් විසින් පිරිත් සජ්ජායනා මධ්‍යයේ කඨින චීවරය අනුරාධපුර මහ විහාරයේ තැන්පත් කර බෞද්ධාගමික වත්පිළිවෙත් සිදු කරන ලදී. එදින සන්ධ්‍යාවේ මැදවච්චිය කිඬාගලේගම ශ්‍රී දළදා විහාරාධිපති කැබිතිගොල්ලෑව මධ්‍ය මහ විද්‍යාලයේ නි‍යෝජ්‍ය විදුහල්පති රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී වත්තේගම සුමන හිමි විසින් සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියසදී ධර්ම දේශනයක් පවත්වන ලදී.

2022 නොවැම්බර් 04 වන දින උදෑසන කඨින චීවරය අනුරාධපුර මහ විහාරයේ සිට විචිත්‍රවත් පෙරහැරකින් මඟින් සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත වැඩම කරවා, කඨින චීවරය පූජා කිරීම සිදු කෙරිණි. අනතුරුව අනුරාධපුර මහ විහාරය වෙත හීල් දානය පූජා කරන ලද අතර, අටමස්ථානාධිපති රුවන්වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇතුළු ගරුතර මහා සංඝරත්න‍ය 30 නමක් වෙනුවෙන් දහවල් දානය පූජා කර පිරිකර පූජා කිරීම බැති සිතින් සිදුකෙරිණි.

තවද, මෙම කඨිණ පුණ්‍ය මහෝත්සවය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සෙසු නිලයන්ද, බොදු බැතිමතුන් පිරිසක් ද බැති සිතින් සහභාගි වී සිටියහ.