ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සර සැමරුම් ආරම්භය ජය ශ්‍රී මහ බෝධිය සහ රුවන්වැලි මහා සෑය මුල්කර ගෙන පැවැත්වේ

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන්, කඤ්චුක පූජාව සහ නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2022 නොවැම්බර් 09 සහ අද (2022 නොවැම්බර් 10) රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගෙතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

72 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇති අතර, එම වැඩසටහන් මාලාවේ බෞද්ධාගමික වැඩසටහන් ආරම්භ කරමින්, 2022 නොවැම්බර් මස 09 වන දින නාවික හමුදාධිපති විසින් අනුරාධපුර අටමස්ථානාධිපති රුවන්වැලි මහා සෑයෙහි චෛත්‍යාරාමාධිකාරී, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ප්‍රථමයෙන් බැහැදැක ආශීර්වාද ලබා ගන්නා ලදී. අනතුරුව, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද කඤ්චුක පූජා පිංකම රුවන්වැලි මහා සෑ රදුන් අබියස පවත්වන ලදී. එහිදී, අලංකාරවත් පෙරහැරකින් රැගෙන ආ මීටර 300ක දිගකින් යුත් බෞද්ධ ධජයක් රුවන්වැලි මහ සෑ ගර්භය වටා පැළඳවීම නාවික හමුදාධිපති ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් සිදුකෙරිණි.

අනතුරුව, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ගේ අනුශාසනා පරිදි,අනුරාධපුර රුවන්වැලි සෑය මහා විහාර මහ පිරිවෙණෙහි ආචාර්ය ලෝලුගස්වැව අභිනවාරාමාධිපති ශ්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කුඩාගල වැවේ ඥාණවිමල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ආගමික වතාවත් සිදුකර, පිරිකර සහ ගිලන්පස පුජා කිරීම බැති සිතින් සිදු කෙරිණි.

අද උදෑසන (2022 නොවැම්බර් 10) නාවික හමුදාධිපති විසින් අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, නාවික ධජයන් වෙත ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා නාවික ධජයන් විචිත්‍රවත් පෙරහැරක් මඟින් රැගෙන විත් ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස තැන්පත් කිරීම සිදු කෙරිණි. අනතුරුව, ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසා ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමියන් විසින් නාවික ධජයන්ට ආශිර්වාද පතා පිරිත් සඡ්ඣායනය කර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පුද පූජා පවත්වා වත් පිළිවෙත් සිදු කරන ලදී.

එහිදී, නාවික හමුදාධිපති ගේ ආරාධනයෙන්, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ගේ අනුශාසනා පරිදි, පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමි විසින්, හැත්තෑ දෙවසරක් පුරා නාවික හමුදාව පැමිණි දීර්ඝ ඉතිහාසය තුළ මව්බිමෙහි ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ, අතුරුදහන් වූ සහ ආබාධිත තත්වයට පත් වූ සියළුම විරෝධාර නාවික විරුවන් වෙත පුණ්‍යානුමෝදනා සිදු කරන ලදී. එමෙන්ම, රටත්, ජාතියත් සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට ශක්තිය, බලය සහ ධෛර්යය නිරතුරුව ලැබේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරමින්, නාවික හමුදාධිපති ඇතුළු සියළුම නාවික පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගේ ඉදිරි කටයුතු සාර්ථකත්වය උදෙසා ආශිර්වාද ප්‍රාර්ථනා සිදු කෙරිණි.

මෙම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති, නාවික හමුදා ‍ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන, නාවික හමුදා ‍ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා මූලස්ථානය සහ උතුරු මැද නාවික විධානය ඇතුළු සියළුම නාවික විධානයන්ට අනුයුක්ත ධජ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.