‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2022’ අභිමානවත්ව සැමරේ
මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම සේවා පුද්ගලයන් අනුස්මරණය කිරීමේ ‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2022’ ප්‍රධාන සැමරුම් උත්සවය අද (2022 නොවැම්බර් 13) කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
පළමුවන හා දෙවන ලෝක සංග්රාමයන්හි දී දිවි පිදූ සේවා පුද්ගලයන් සිහිපත් කිරීම උදෙසා ආරම්භ වී ඇති රණවිරුවන් අනුස්මරණය කිරීම, වර්තමානයේදී නිදහසින් පසුව මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම සේවා පුද්ගලයන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සිදු කරනු ලබයි.
ඒ අනුව, ශ්‍රි ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම රණවිරු අනුස්මරණ උත්සවයේදී, මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල සියළුම සේවා පුද්ගලයන් සිහිපත් කරමින්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ප්‍රථමයෙන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී. අනතුරුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලද අතර, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් පැමිණ සිටි ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සම්භාවනීය අමුත්තන් විසින්ද එහිදී රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.
තවද, පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී හා නිදහසින් පසුව මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම සේවා පුද්ගලයන් අනුස්මරණය කිරීමේ ප්‍රධාන උත්සවයට සමගාමීව, නාවික හමුදා මූලස්ථානයේ පැවති රණවිරුවන් අනුස්මරණය කිරීමේ අවස්ථාව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී විය. එමෙන්ම මීට සමගාමීව සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි පවත්වන ලද මියගිය සේවා පුද්ගලයන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සියළුම නෞකා සහ ආයතන නියෝජනය කරමින් නාවික පුද්ගලයන් සහභාගී වී සිටියහ.
Naval Headquarters 
Eastern Naval Command  
Western Naval Command 
Northern Naval Command 
Northwestern Naval Command 
North Central Naval Command
Southern Naval Command
Southeastern Naval Command


























































