නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය රැකගැනීමේ ක්‍රියාන්විතයේදී සහ පූනරීන්හීදී දිවි පිදූ වීරෝධාර නාවික රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා කීරීම වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් පවත්වයි

1993 වර්ෂයේ නොවැම්බර් මස 11 වන දින යාපනය, නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය සහ පූනරින් කඳවුර ත්‍රස්තවාදීන් ගෙන් රැකගැනීමේ ක්‍රියාන්විතයේදී දිවි පිදූ වීරෝධාර නාවික රණවිරුවන් 114 දෙනෙකු සිහිපත් කර ඔවුන් හට පුණ්‍යානුමෝදනා සිදු කිරීම වෙනුවෙන් 2022 නොවැම්බර් මස 16 වන දින යාපනය, නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් දානමය පුණ්‍යකර්මයක් සිදුකෙරිණි.

ඒ අනුව, නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන් මෙම දානමය පුණ්‍යකර්මය පවත්වන ලදී.

පසුගිය දශක තුනකට ආසන්න කාලයක් මෙරට ‍වෙළා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සුවිශේෂී දායකත්වයක් දක්වා තිබේ. ඒ අනුව යාපනය, කිලාලී කලපුව ඔස්සේ සිදුවූ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ මුහුදු කොටි ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමේ අරමුණෙන් පිහිටුවන ලද නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය සහ පූනරින් කඳවුර එම ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් අඩපණ කිරීමට විශාල දායකත්වයක් දක්වා ඇත. 1993 වර්ෂයේ මැද භාගයේදී නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩයේ අණභාර නිලධාරි වශයෙන් එවකට ලුතිනන්වරයෙක්ව සිටි වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත් වී ඇත. 1993 වර්ෂයේ අග භාගයේදී ත්‍රස්තවාදීන් විසින් පූනරීන් කඳවුර ඇතුළු අවට ප්‍රදේශය වෙත සහ කිලාලි කලපුව ඔස්සේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මහත් අවහිරයක්ව තිබූ නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය වෙත ප්‍රහාරයක් එල්ල කර ඇත. එහිදී, එම ප්‍රහාර හමුවේ නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය සහ පූනරින් කඳවුර අත් නොහැර එම අනුඛණ්ඩය සහ පූනරීන් කඳවුර රැක ගැනීම වෙනුවෙන් 1993 නොවැම්බර් මස 11 වන දින සිදු කළ ක්‍රියාන්විතයේදී වීරෝධාර නාවික විරුවන් 114 දෙනෙකුගේ ජීවිත මව්බිම වෙනුවෙන් පුද දී ඇත.

මෙම ක්‍රියාන්විතයේදී දිවි පිදූ එම වීරෝධාර නාවික රණවිරුවන් සිහිපත් කරමින්, නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් ගරුතර මහ සංඝරත්නය වෙනුවෙන් 2022 නොවැම්බර් මස 16 වන දින මෙම දානමය පුණ්‍යකර්මය සිදුකර, මෙම පුණ්‍යකර්මය සඳහා වැඩමවා වදාළ නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නය විසින් දිවිපිදූ වීරෝධාර නාවික රණවිරුවන් වෙත බෞද්ධාගමික වත් පිළිවෙත් වලට අනුකූලව පුණ්‍යානුමෝදනා සිදු කරන ලදී.

තවද, මෙම පුණ්‍ය කර්මය සඳහා නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය සහ පූනරින් කඳවුර රැකගැනීමේ ක්‍රියාන්විතය සඳහා දායක වූ කොමදෝරු (විශ්‍රාමික) මහේන්ද්‍ර වීරරත්න ඇතුළු විශ්‍රාමික නාවික පුද්ගලයන් හය (06) දෙනෙකුද සහභාගී විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩයේ පැළයක් රෝපණය කිරීමද සිදු කෙරිණි. එමෙන්ම, මෙම දානමය පුණ්‍ය ක‍ටයුත්ත සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.