72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී දේව මෙහෙයක්

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලැබූ ඒකාබද්ධ ක්‍රිස්තියානි දේව මෙහෙය 2022 නොවැම්බර් මස 18 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර, ඒ අනුව, මෙම ආගමික වැඩසටහන් මාලාව යටතේ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් 2022 නොවැම්බර් මස 18 වන දින කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්වූ ඒකාබද්ධ ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ සහයක රදගුරු, ආචාර්ය ඇන්ටන් ජයකොඩි හිමිපාණන් ඇතුළු පූජක තුමන්ලාගේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.

මෙම දේව මෙහෙය මඟින් නාවික හමුදා ධජය සහ නාවික හමුදා විධාන ධජයන් වෙත ක්‍රිස්තියානි ආගමික වත් පිළිවෙත් වලට අනුකූලව ආශීර්වාද සිදුකිරීම සහ නාවික හමුදාවේ සියළුම නෞකා හා ආයතනයන් වෙත දේව ආශීර්වාද ප්‍රාර්ථනා කිරීම සිදුකෙරුණි. එමෙන්ම, 72 වසරක නාවික හමුදා ඉතිහාසය තුළ මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ථ නාවික හමුදාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

තවද, මෙම දේව මෙහෙය සඳහා හිටපු නාවික හමුදාධිපතිවරුන් වන අද්මිරාල් බැසිල් ගුණසේකර, අද්මිරාල් සිසිල් තිසේරා, අද්මිරාල් තිසර සමරසිංහ, අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ අද්මිරාල් ජයන්ත පෙරේරා ඇතුළු විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිළධාරීන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්, විධාන ආඥාපති වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති කොමදෝරු ප්‍රශාන්ත ඇන්තනී ඇතුළු නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ නිලධාරීන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.