ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ P 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජයබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජයබාහු’ නමින් අධිකාරියට පත් කිරීම 2022 නොවැම්බර් මස 22 වන දින කොළඹ වරාය පරිශ්‍රයේ නැගෙනහිර පර්යන්තයේදී සිදුකෙරිණි. මෙම අධිකාරියට පත්කිරීමේ උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලි චන්ග් මැතිණිය, වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆීලීට්, වසන්ත කරන්නාගොඩ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, සාගල රත්නායක මහතා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සහ ශ්‍රී ලංකා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම උත්සව අවස්ථාව සඳහා පැමිණි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් පිළිගැනීමෙන් අනතුරුව, ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යන ලද අතර, එහිදී ජනාධිපති සම්මාන මුරයක් මඟින් ගරු ජනාධිපති තුමා වෙත උත්තමාචාරය පිරිනැමීම සිදුකෙරිණි. අනතුරුව, P 627 නෞකාවේ අභිනව අණදෙන නිලධාරී, කපිතාන් ලංකා දිසානායක වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ගරු ජනාධිපති තුමා විසින් ප්‍රදානය කරන ලද අතර, අණදෙන නිලධාරී විසින් සන්නස් පත්‍රය නෞකාව මත සිට ප්‍රකාශයට පත් කරමින්, නෞකාවේ අණසක ගෞරව බහුමානයෙන් යුක්තව භාර ගන්නා බවට ප්‍රතිඥා දෙන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා 'විජයබාහු' නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය, සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නිරාවරණය කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ගරු ජුලී චන්ග් මැතිණිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, සාගල රත්නායක මහතා සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) යන සම්භාවනීය ආරාධිතයන් නෞකාව නිරීක්‍ෂණය සඳහා කැටුව යන ලදී. එහිදී, විජයබාහු නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගරු ජනාධිපති තුමන් ඇතුළු සම්භාවනීය පිරිස දැනුවත් කිරීම නෞකාවේ ජලතරණ නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් ධනුෂ්ක ජයසේන විසින් සිදුකෙරිණි.

සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින්, මීට පෙර 2005 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ (පී 621) සහ 2018 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ (පී 626) යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දී ඇති අතර, එම සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස විජයබාහු නෞකාව ලබා දීම සනිටුහන් වෙයි. ‘Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම 2021 ඔක්තෝබර් මස 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ, ‘සියැටල්’ වරායෙහි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක කඳවුරේදී සිදු කෙරිණි. එදින සිට පී 627 ධජ අංකය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ මෙම නෞකාව, සියැටල් වරායේදී ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් නවීකරණ කටයුතු සිදුකෙරිණි. අනතුරුව, පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා ගමන් ආරම්භ කර, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ) දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව, 2022 නොවැම්බර් මස 02 දින පී 627 නෞකාව කොළඹ වරාය වෙත සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස මෙරට සාගරික වපසරිය නිරන්තර ආවේක්ෂණය කරමින් සාගරික ආරක්‍ෂාවේ නියමුවා ලෙස කටයුතු කිරීමේදී, නාවික හමුදාවේ නෞකා බළඇණිය ඉහළ සංචරණ ධාරිතා‍වයකින් සහ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවයකින් යුත් නෞකාවන් ගෙන් සමන්විත වීම කාලීන අවශ්‍යතාවයක් වන බැවින්, මෙවැනි ඉහළ සංචරණ ධාරිතාවයකින් යුත් නෞකා අත්පත් කර ගැනීම තුළින් ඉදිරියේදී දේශයේ සාගරික ආරක්‍ෂක අභිලාෂයන් වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් හත් ගුණයක් විශාල වූ මෙරට අනන්‍ය ආර්ථික කළාපයෙහි ඇති සාගරික සම්පත් ආරක්‍ෂා කිරීම, සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම, නාවික හා ධීවර ප්‍රජාවට සහන සැළසීමේ මෙහෙයුම් සිදු කිරීම, නාවික ගමන් මාර්ග සඳහා ආරක්‍ෂාව සැපයීම ඇතුළු සාගර කළාපය ඔස්සේ සිදු කෙරෙන ආර්ථික කටයුතු ආරක්‍ෂිතව සිදු කිරීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම උදෙසා ඉදිරියේදී ශ්‍රී ලංකා නාවික නෞකා 'විජයබාහු' නෞකාව කාර්යක්‍ෂමව යෙදවීමට නාවික හමුදාව අපේක්‍ෂා කරයි.

තවද, මෙම අධිකාරියට පත්කිරීමේ උත්සවය නාවික හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කල සංස්කෘතික නර්තන අංගයන් ගෙන් විචිත්‍රවත් වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ගරු ජනාධිපති තුමා වෙත සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වෙත සමරු තිළිණ පිරිනැමීමටද කටයුතු කෙරිණි. අනතුරුව, ගරු ජනාධිපති තුමා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ අභිනව නැව්මුලුව සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු අධිකාරියට පත්කිරීමේ උත්සව අවස්ථාව නිමාවට පත්විය.

මෙම අධිකාරියට පත්කිරීමේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, හිටපු නාවික හමුදාධිපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, චන්දිමා උළුගේතැන්න මැතිණිය සහ සම්භාවනීය ආරාධිතයන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල්, ධම්මික කුමාර ඇතුළු විධාන ආඥාපති වරුන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගිවී සිටියහ.