නාවික හමුදා කථික තරඟාවලිය - 2022 සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2022 (Public Speaking Competition - 2022) සහ 2022 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් සහ තිළිණ ප්‍රධානය කිරීම 2022 නොවැම්බර් මස 24 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

නාවික හමුදා පුද්ගලයින්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම සහ ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් නාවික හමුදා කථික තරඟාවලිය ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් වශයෙන් කාණ්ඩ දෙකක් (02) යටතේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලිය ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් වශයෙන් කාණ්ඩ තුනක් (03) යටතේ වාර්ෂිකව පවත්වනු ලබයි.

ඒ අනුව, 2022 නොවැම්බර් 24 දින පැවති , නාවික හමුදා කථික තරඟාවලිය - 2022 හි අවසන් තරඟයෙන්, සුවිශේෂි දක්‍ෂතා පෙන්නුම් කර පළමු, දෙවන හා තෙවන ස්ථානයන් ලබාගත් නිලධාරීන් වෙත සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් හා පිළිවෙලින් රුපියල් 100,000.00, 75,000.00 සහ 50,000.00 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා කථික තරඟාවලියේ ජ්‍යේෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර්(නාපාබල) එච්සීඒඑල් මෙන්ඩිස් විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර්(ඉ) එම්පීපී ප්‍රනාන්දු විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර්(නීති සේවා) ඩීඒඑල්පී රාමවික්‍රම විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

කථික තරඟාවලියේ කණිෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන්(සැ) එස්ඩී කරුණාසේන විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන්(සැ) ඩීබීඒඑස් සිරිනන්ද විසින් ද, තෙවන ස්ථානය ලුතිනන්(ඉ) ඩීඑම්එස්එම් දිසානායක විසින්ද හිමිකර ගන්නා ලදී.

නාවික හමුදා කථික තරඟාවලිය - 2022 හි විනිශ්චය මණ්ඩලය ලෙස බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු, බුද්ධික ලියනගමගේ, ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැශනල් සාමාජයේ (Toastmasters Internationals) ෆහාස් ෆාරුක් මහතා සහ දිනුක් සිල්වා මහතා කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදා පුද්ගලයින්ගේ ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් 2022 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු රචනා තරඟාවලියේ, කොමාණ්ඩර් නිලයෙන් ඉහළ අංශයේ ප්‍රථම ස්ථානය කොමාණ්ඩර් (සංඥා) ඒඑම්ඒඑස් අලහකෝන් විසින්ද, එහි දෙවන ස්ථානය කොමාණ්ඩර්(ඉ) පීඑම්ඩීජේ සෙනෙවිරත්න විසින් සහ තෙවන ස්ථානය කොමාණ්ඩර්(ඉ) එච්එස් අමරසේකර විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

රචනා තරඟාවලියේ ලුතිනන් කොමාණ්ඩර් නිලයෙන් පහළ නිලධාරී අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඩබ්ඩීඩී ලක්ෂාන් විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර්(ඉ) ඒඑන් මාකොළගේ විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ජේඑම්එච්අයි බණ්ඩාර විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

රචනා තරඟාවලියේ නාවිකයන්ගේ අංශයේ ප්‍රථම ස්ථානය නායක ගුවන් විදුලි කාර්මික ඒඩීඑච් ‍ෆොන්සේකා විසින්ද, දෙවන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික ඩීජීඩබ් සමරවීර විසින් ද, තෙවන ස්ථානය ප්‍රධාන සුළු නිලධාරි එච්පීඒ සාන්ත විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කථිකයන්ගේ දක්‍ෂතා දැක ගැනීමට අවස්තාව ලැබීම පිලිබඳ ප්‍රථමයෙන් සිය සතුට පළ කරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, කථිකත්වය සහ ලිඛිත හැකියාව පිලිබඳ හමුදා පුද්ගලයන්ගෙන් යම් මට්ටමක ගුණාත්මක භාවයක් අපේක්ෂා කරන බවත්, එමඟින් හමුදා පුද්ගලයෙක් වශයෙන් තම අදහස් නිවැරදිව හා පැහැදිලිව ප්‍රකාශ කිරීමට මෙන්ම පහසුවෙන් අන් අයගේ විශ්වාසය දිනා ගැනීමට ද අවස්ථාව උදා වන බවත් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම, මෙවැනි තරඟාවලි තුලින් දක්‍ෂතා පෙන්නුම් කරනු ලබන නිලධාරීන් හට එම දක්‍ෂතා තවදුරටත් වැඩිදියුණු කරගැනීම මඟින් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ වුවද ලබාගැනීමට හැකියාව ඇති බවත් පවසමින්, ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයන් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා වෛද්‍ය රියර් අද්මිරාල් ජීඑස්ආර් ජයවර්ධන, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් මහින්ද මහවත්ත, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සමන් පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ, ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම, අධ්‍යක්‍ෂ නාවික අභ්‍යන්තර විගණන රියර් අද්මිරාල් අසංග රණසූරිය, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන රියර් අද්මිරාල් ජානක නිශ්ශංක, ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.