72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක් වැලිසර නාවික සංකීර්ණයේදී

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා නාවික හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුන්‍යකර්මයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් 2022 නොවැම්බර් මස 25 සහ අද (2022 නොවැම්බර් 26 ) වැලිසර නාවික සංකීර්ණයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇති අතර, පසුගිය 2022 නොවැම්බර් 09 දින අනුරාධපුර රුවන්වැලි මහා සෑය වෙත කඤ්චුක පූජාව සිදුකිරීමෙන් සහ 2022 නොවැම්බර් මස 10 දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස ධජ ආශිර්වාද පූජාව සිදුකිරීමෙන් මෙම ආගමික වැඩසටහන් මාලාව ආරම්භ විය. මෙම ආගමික වැඩසටහන් මාලාව යටතේ නාවික හමුදාවට සෙත් පතා සිදුකෙරුණු ක්‍රිස්තියානි දේව මෙහෙය 2022 නොවැම්බර් මස 18 වන දින කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.

ඒ අනුව, මහබා‍ගේ මූලඝන්ධකුටි විහාරස්ථානයේ මූලිකත්වයෙන්, මීරිගම මිනි ඔළුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍ර විශාරද, ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති අති පූජ්‍ය මකුලෑවේ විමල මාහිමිපාණන් ගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ සහ වැලිසර නාවික සංකීර්ණයේ අණභාර නිලධාරි කොමදෝරු මහේෂ් ද සිල්වාගේ අධීක්‍ෂණයෙන් මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සහ දානමය පුණ්‍යකර්මය පවත්වන ලදී.

ඒ අනුව, වැලිසර නාවික සංකීර්ණයේ සංවිධානය කරන ලද මෙම බෞද්ධාගමික වැඩසටහන ආරම්භ කරමින් 2022 නොවැම්බර් මස 25 වන දින සන්ධ්‍යාවේ වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස මල්කළඹක් තැන්පත් කර පහන් 2500 ක් දල්වා රට වෙනුවෙන් දිවිපිදු සහ අතුරුදහන් වූ වීරෝධාර නාවික රණවිරුවන් අනුස්මරනය කිරීමට කටයුතු කෙරිණි. අනතුරුව, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව සඳහා මහබාගේ මූලඝන්ධකුටි විහාරස්ථානයේ සිට වැලිසර නාවික සංකීර්ණය වෙත සධාතුක කරඬුව හා පිරුවානා පොත් වහන්සේ සාම්ප්‍රදායික නර්තනාංගයන්ගෙන් සමන්විත විචිත්‍රවත් පෙරහැරකින් වැඩමකරවූ අතර, නාවික හමුදාධිපති විසින් සධාතුක කරඬුව හා පිරුවානා පොත් වහන්සේ පිරිත් මණ්ඩපයෙහි තැම්පත් කිරීමෙන් අනතුරුව, නාවික හමුදාවට සෙත් පතා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව ආරම්භ කෙරිණි.

අද (2022 නොවැම්බර් 26) දහවල් මහභාගේ මූලගන්ධකුටි විහාරස්ථානයේ සිට වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය 72 නමක් වෙනුවෙන් වැලිසර නාවික සංකීර්ණයේදී දහවල් දානය සහ පිරිකර පූජාකිරීමේ පිංකම නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාගාමික වත් පිළිවෙත් වලට අනුකූලව බැති සිතින් සිදුකරන ලද අතර, එහිදී ගරුතර මහා සංඝරත්නය විසින් රට වෙනුවෙන් දිවිපිදු සහ අබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම නාවික හමුදාධිපති ඇතුළු දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ථ නාවික හමුදාවටත් 72 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සිදුකෙරෙන ආගමික වැඩසටහන් මාලාව යටතේ සිදුකෙරෙන හින්දු ආගමික වැඩසටහන 2022 දෙසැම්බර් මස 01 වන දින කොළඹ 13, ශ්‍රී පොන්නම්බලවෙනේශ්වරම් හින්දු කෝවිලේදීත්, මුස්ලිම් ආගමික වැඩසටහන 2022 දෙසැම්බර් මස 02 වන දින කොළඹ 01, ජුම්මා මස්ජීත් පල්ලියේදීත් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සූදානම් කර ඇත. තවද, 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා 2022 දෙසැම්බර් මස 08 සහ 09 දෙදින මහනුවර ශ්‍රී දළඳා සමිදුන් අභියස පහන් පූජාවක් සහ දානමය පින්කමක් ද, 2022 දෙසැම්බර් 09 දින අනුරාධපුර සඳහිරු සෑය අභියස ආලෝක පූජාවක්ද, 2022 දෙසැම්බර් මස 28 දින කැලණිය රජ මහා විහාරස්ථානයේදී බෝධි පූජා පින්කමක් හා ධාතු මන්දිරයේ විශේෂ පූජාවක් සිදුකිරීමට ද නාවික හමුදාව විසින් කටයුතු සූදානම් කර ඇත.

නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් වැලිසර නාවික සංකීර්ණයේදී පැවැත්වුණු සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව හා දානමය පිංකම සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සහ නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ, නාවික හමුදා විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන් ඇතුළු බටහිර නාවික විධානයේ සහ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.