72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන අද (2022 දෙසැම්බර් 01) කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත. එම ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී 2022 නොවැම්බර් මස 09 සහ 10 දෙදින ද, ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී නොවැම්බර් මස 18 වන දිනද, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා ගරුතර මහා සංඝරත්නය උදෙසා දානය පූජා කිරීමේ පුන්‍යකර්මය, වැලිසර නාවික සංකීර්ණයේදී 2022 නොවැම්බර් මස 25 සහ 26 දෙදිනද පවත්වන ලදී.

ඒ අනුව, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදාවට අශිර්වාද පතා අද (2022 ‍දෙසැම්බර් 01) කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී එම දේවස්ථානයේ නාජේන්ද්‍රන් ෂර්මා සුරේන්ද්‍රන් හින්දු පූජක තුමාගේ මෙහෙයවීමෙන් පැවති මෙම හින්දු ආගමික වැඩසටහන මඟින්, රට වෙනුවෙන් දිවිපිදු සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ත නාවික හමුදාවටත් 72 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

මෙම හින්දු ආගමික වැඩසටහන සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර, ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම, අධ්‍යක්‍ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) කොමදෝරු රොහාන් ප්‍රනාන්දු, ශ්‍රි ලංකා නාවික නෞකා රංගල ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් සාලිය පරණගම ඇතුළු නාවික හමුදා මූලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.