72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී දේව මෙහෙයක්

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද (2022 ‍දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත. එම ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී 2022 නොවැම්බර් මස 09 සහ 10 දෙදින ද, ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී නොවැම්බර් මස 18 වන දිනද, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා ගරුතර මහා සංඝරත්නය උදෙසා දානය පූජා කිරීමේ පුන්‍යකර්මය, වැලිසර නාවික සංකීර්ණයේදී 2022 නොවැම්බර් මස 25 සහ 26 දෙදින සහ හින්දු ආගමික වැඩසටහන 2022 ‍දෙසැම්බර් මස 01 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මක කුමාර ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදාවට අශිර්වාද පතා අද (2022 ‍දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී අම්හර් හකම්ඩීන් මව්ලවිතුමාගේ මෙහෙයවීමෙන් පැවති ඉස්ලාම් දේව මෙහෙය මඟින්, රට වෙනුවෙන් දිවිපිදු සහ අබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ථ නාවික හමුදාවටත් 72 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල්, නෙවිල් උභයසිරි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික හා ගුවන් මෙහෙයුම්, රියර් අද්මිරාල් අසංග රණසූරිය, අධ්‍යක්‍ෂ මැරීන්, කොමදෝරු සනත් පිටිගල, ශ්‍රි ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් කැළුම් මාරඹගේ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.