ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 72 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

හැත්තෑ දෙවසරක (72) දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව 72 වන සංවත්සරය අද දින (‍2022 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරයි. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 72 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 72 වන සංවත්සරයට සමගාමීව, මෙවරද (2022 දෙසැම්බර් 09) ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා නැංගුරම්ලා තබා දේශයේ නාවික බලය පොදු මහ ජනතාවට දැකබලා ගැනීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

72 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ නිර්දේශය මත නිලධාරීන් 222 දෙනෙකු සහ විවිධ තරාතිරම් වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3548 ක් අද දින (2022 දෙසැම්බර් 09) උසස් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව, කොමදෝරු නිලය දක්වා නිලධාරීන් දෙදෙනෙක්ද (02), ලුතිනන් කොමාණ්ඩර් නිලය දක්වා නිලධාරීන් පනස් හයදෙනෙක්ද (56), ලුතිනන් නිලය දක්වා නිලධාරීන් පනස් අට දෙනෙක්ද (58), උප ලුතිනන් නිලය දක්වා නිලධාරීන් හැට හත් දෙනෙක්ද (67), වැඩ බලන උප ලුතිනන් නිලය දක්වා නිලධාරීන් හත් දෙනෙක් (07) සහ මධ්‍ය නිලධාරි දක්වා නිලධාරීන් තිස් දෙදෙනෙක්ද (32) වශයෙන් නිලධාරීන් 222 ක් ඊළඟ නිලය දක්වා උසස් කරන ලදී.

එමෙන්ම, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 692 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 287 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 951 ක්ද, සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 1259 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 330 ක් ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 18 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 11 ක් වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 3548 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කරන ලදී.

අද දින (2022 දෙසැම්බර් 09) අභිමානවත් 72 වන සංවත්සරය සමරන ශ්‍රී නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. දෙවන ලෝක යුද්ධයක පෙර ලකුණු පහළවීමත් සමඟ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූ ප්‍රතිපත්තීමය තීරණයකට අනුව, 1937 අංක 01 දරණ ස්වේච්ඡා නාවික හමුදා ආඥා පනත මඟින් ප්‍රථම වරට ස්ථාපිත වූ ‘ලංකා ස්වේච්ඡා නාවික හමුදාව’, 1943 ඔක්තෝබර් මස 01 දින 'රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උපසේවය' බවට පත්විය.

1948 පෙබරවාරි මස 04 වන දින මෙරටට නිදහස ලැබීමෙන් අනතුරුව, 1950 අංක 34 දරණ නාවික හමුදා පනත මඟින්, 1950 දෙසැම්බර් මස 09 වන දින 'රාජකීය ලංකා නාවික හමුදාව' ස්ථාපිත කිරීමත් සමඟ මෙරට ස්ථිර නාවික හමුදාවක ආරම්භය සනිටුහන් විය. එතැන් සිට මෙරට සාගරික වපසරියේ ආරක්‍ෂකයා ලෙස සුවිශේෂී වගකීමක් රාජකීය ලංකා නාවික හමුදාවට පැවරිණි. දිනෙන් දින වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත් විය.

1980 දශකයේ මුල් භාගයේදී රටේ ඇති වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් එතෙක් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූළ නාවික හමුදා භූමිකාවෙන් සංග්‍රාමික භුමිකාව වෙත පරිවර්තනය වූ නාවික හමුදාව, එතැන් සිට ත්‍රස්තවාදය මෙරටින් පිටුදැකීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් පිරිස් බලයෙන් හා යුදමය ශක්‍යතාවයෙන් ක්‍රමිකව වර්ධනය විය. දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය 2009 වර්ෂයේදී මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව දායක වන්නේ, මෙරට සාගරික වපසරිය මතින් පැන නඟින අභියෝග ජය ගැනීමට සමත් දේශයේ පළමු ආරක්ෂක වළල්ල බවට පත් වෙමිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කරන ලදී. එම ආගමික වැඩසටහන් මාලාව රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී 2022 නොවැම්බර් මස 09 සහ 10 දෙදින කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය සිදුකිරීමෙන් ආරම්භ වූ අතර, ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී නොවැම්බර් මස 18 වන දින සිදුකෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව පැමිණි වසර 72 ක දීර්ඝ ඉතිහාසය තුල මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් සිදුකළ අනභිභවනීය මෙහෙවර හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික විරුවන් ගෞරවයෙන් අනුස්මරණය කරමින් සහ වත්මන් නාවික හමුදාධිපති ඇතුළු සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක් සහ ගරුතර මහා සංඝ රත්නය 72 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම 2022 නොවැම්බර් මස 25 සහ 26 දෙදින වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි. නාවික හමුදාවට සෙත් පතා හින්දු දේව මෙහෙයක් කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී 2022 දෙසැම්බර් මස 01 දිනද, ඉස්ලාම් දේව මෙහෙයක් කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේ දී 2022 දෙසැම්බර් 02 දිනද පවත්වන ලදී.

තවද, 2022 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වෙත ගිලන්පස බුද්ධ පූජාව සිදුකරන ලද අතර, නාවික හමුදාවට ආශිර්වාද පතා අද (2022 දෙසැම්බර් 09) දළඳා සමිඳුන් උදෙසා බුද්ධ පූජාව සහ භික්ෂූන් වහන්සේ විෂයෙහි දානමය පුන්‍යකර්මය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළඳා සමිඳුන් අබියසදී සිදු කෙරිණි. එමෙන්ම නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් අද (2022 දෙසැම්බර් 09) සඳහිරු සෑය අභියසදී නාවික හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් ආලෝක පූජාවක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

තවද, 72 වන නාවික හමුදා සංවත්සර දිනයට සමගාමීව නාවික හමුදාව විසින් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, ඒ යටතේ උතුරු නාවික විධානය සහ නැගෙනහිර නාවික විධානය මඟින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන් මඟින් නාවික පුද්ගලයන් 750 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ලේ දන්දීමට කටයුතු කෙරිණි. තවද, සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද කටයුතු කෙරිණි.

දෘෂ්‍යමාන සතුරෙකු නොමැති වුවත්, සාගරය මතින් එල්ලවන අභියෝග ජයගැනීම සඳහා, සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟ පෙන්වීම මත, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නායකත්වය යටතේ, සුරක්‍ෂිත සාගර කළාපයක් පවත්වා ගැනීමේ ජාතික අභිලාශය සාක්‍ෂාත්කර ගැනීම උදෙසා කාලීනව නව්‍යකරණය වූ ඉහළ සංචරණ ධාරිතාවයකින් යුත් නෞකා සහ යාත්‍රා සමූහයකින් ද, නාවික හමුදාවේ කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා මනා ලෙස සංවිධානය වූ පරිපූර්ණ මානව සම්පතකින් ද යුත් ශ්‍රී ලංකා නාවික හමුදාව, සිය හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ භූමිකාවන් කාර්යක්‍ෂමව සිදු කරමින් දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ශක්තිමත් කිරීමට උපරිම දායකත්වය ලබා දෙනු ලබයි.