ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාව‍ට ආශීර්වාද පතා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් අභියස ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා‍ සමිඳුන් අභියස ගිලන්පස බුද්ධ පුජාවක් සහ ගරුතර මහා සංඝරත්නය උදෙසා දානය පිරිනැමීමේ පුණ්‍ය කර්මයක් 2022 දෙසැම්බර් මස 08 සහ අද (2022 දෙසැම්බර් 09 ) දින නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් බැති සිතින් සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශීර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කරන ලදී. එම ආගමික වැඩසටහන් මාලාව රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය සිදුකිරීමෙන් ආරම්භ වූ අතර, ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී සිදුකෙරිණි. එමෙන්ම, මියගිය වීරෝදාර නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක් සහ ගරුතර මහා සංඝ රත්නය 72 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරුණු අතර, නාවික හමුදාවට සෙත් පතා හින්දු දේව මෙහෙයක් කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදීත්, ඉස්ලාම් දේව මෙහෙයක් චැතැම් වීදියේ ජුම්මා පල්ලියේ දීත් පවත්වන ලදී.

ඒ අනුව, නාවික හමුදාවේ 72 වන සංවත්සර‍ය වෙනුවෙන් නාවික හමුදාව‍ට ආශීර්වාද පතා සිදුකෙරෙන ආගමික වැඩසටහන් මාලාව යටතේ, ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වෙත ගිලන්පස බුද්ධ පූජාව පිරිනැමීම සහ ධජ පූජාව සිදුකිරීම 2022 දෙසැම්බර් 08 සන්ධ්‍යාවේ බෞද්ධාගමික වත්පිළිවෙත් අනුගමනය කරමින් සිදුකෙරිණි.

අද උදෑසන (2022 දෙසැම්බර් 09) නාවික හමුදාධිපති විසින් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව, මල්වතු පාර්ශවයේ අනුනායක මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මහා විහාර වංශික ස්‍යාමොපාලික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික දර්ශනපති පූජ්‍ය වැලිවිට ශ්‍රී ධම්මරක්‍ෂිත සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගන්නා ලදි. එමෙන්ම, නාවික හමුදාධිපති විසින් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව, ගරුතර මහා සංඝරත්නය විසිපස් නමක් (25) විෂයෙහි දානය පිරිනැමිමේ පුණ්‍යකර්මය බැති සිතින් සිදුකෙරිණි.

එහිදී, ගරුතර මහා සංඝරත්නය විසින් මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික විරුවන් අනුස්මරණය කරමින් සහ වත්මන් නාවික හමුදාධිපති ඇතුළු සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත මෙන්ම, සමස්ත නාවික හමුදාවට 72 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සහ නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ, බටහිර නාවික විධාන ආඥාපති සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.