ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවක් වන ‘INS SAHYADRI’, දිගින් මීටර් 143 ක් හා නැව් මුළුව 390 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම්එම් තෝමස් (Captain MM Thomas) කටයුතු කරනු ලබයි.

‘INS SAHYADRI’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් අද (2022 දෙසැම්බර් 13) බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව ඇති අතර, නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම උදෙසා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමටද නියමිතව ඇත.

තවද, ‘INS SAHYADRI’ නෞකාව 2022 දෙසැම්බර් මස 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වීමට නියමිතව ඇත. කලාපීය නාවික හමුදාවන් සමඟ සිදු කෙරෙන මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් වැඩි දියුණුවන සහයෝගීත්වය තුළින් ඉදිරියේදී පොදු සමුද්‍රීය අභියෝග සමූහිකව ජයගැනීමට මහත් පිටුවහලක් ගෙන දෙනු ඇත.