නිල සංචාරය නිමාකරමින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් දිවයිනෙන් නික්ම යයි

නිල සංචාරයක් සඳහා 2022 දෙසැම්බර් මස 12 වන දින දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර් සිය සය දින (06) නිල සංචාරය සාර්ථකව නිමා කරමින් අද (2022 දෙසැම්බර් 17) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත් විය.

මෙම නිල සංචාරයේදී ඉන්දීය නාවික හමුදා ප්‍රධානී විසින් මෙරට ආරක්‍ෂක ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් හමුවී අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහාද සහභාගී වන ලදී. ඒ අනුව, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවී ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මෙම සංචාරයේදී ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, බත්තරමුල්ලෙහි පිහිටි ඉන්දීය සාමසාධක හමුදා අනුස්මරණ ස්මාරකය අභියස මල් කළඹක් තබා මියගිය ඉන්දීය සාමසාධක භටයින් වෙත උපහාර පිරිනැමීමට කටයුතු කල අතර, කොළඹ ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති හමුවී එම විද්‍යායතනය නිරීක්‍ෂණය කිරීම සඳහා මෙන්ම මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වන්දනාමාන කිරීම සඳහාද සහභාගී විය.

තවද, නාවික හමුදාධිපති, අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ආරාධනයෙන් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී 2022 දෙසැම්බර් මස 15 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති මධ්‍ය නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ද සහභාගී වන ලදී.

අනතුරුව, ත්‍රිකුණාමලය සහ ගාල්ල ප්‍රදේශයේ දර්ශනීය ස්ථාන නැරඹීම සඳහා සහභාගී වීමෙන් පසුව ඉන්දීය නාවික හමුදා ප්‍රධානී ගේ සය දින (06) නිල සංචාරය සාර්ථකව නිමාවට පත් විය.

මීට අමතරව, මෙම නිල සංචාරයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මූලිකත්වයෙන් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී ගේ මැතිණිය වන කලා හරි කුමාර් මහත්මිය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ද නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලදී.