නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රථම නාවික හමුදා කළමණාකරණ මණ්ඩල රැස්වීම අමතයි

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව ප්‍රථම නාවික හමුදා කළමණාකරණ මණ්ඩල රැස්වීම අද (2022 දෙසැම්බර් 18) නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලද අතර, එහිදී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය වෙත උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ප්‍රථම නාවික හමුදා කළමණාකරණ මණ්ඩල රැස්වීම ඇමතූ අභිනව නාවික හමුදාධිපති, රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුධය හමුවේ නාවික හමුදාවේ කාර්යයන් සිදු කිරීමේදී මහජන මුදල් අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරමින් එම කාර්යයන් සිදුකල යුතු බව අවධාරණය කරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, සාගර කළාපය නිරන්තර ආවේක්‍ෂණය කරමින් මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීතී විරෝධි කටයුතු මැඩ පැවැත්වීමටත්, ඒ සඳහා නාවික හමුදාවේ සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් සහ ඵලදායීතාවයෙන් යුතුව යොදා ගැනීමටත් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඉටු කරමින්, රජයේ 2030 තිරසාර සංවර්ධන සැලැස්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සෑම නාවික පුද්ගලයෙක් වෙතින්ම උපරිම කැපවීම නාවික හමුදාව අපේක්‍ෂා කරන බවත්, ඒ සඳහා නාවික හමුදාවේ තරුණ නිලධාරීන් සහ නාවිකයන් දිරි ගන්වමින් ඔවුන් වෙත නිසි මඟ පෙන්වීම ලබා දිය යුතු බවත් පවසන ලදී.