රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 36 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා අද දින (2022 දෙසැම්බර් 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදා නි‍යෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් එක් කරන ලදී. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීමෙන් අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා හට සුභාශිංසන එක් කළහ.

1986 වර්ෂයේදී 15 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවේ සැපයුම් අංශයට එක්ව ඇති රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා සිය සේවා කාලය තුල, කපිතාන් සැපයුම් හා සේවා වයඹ, නැගෙනහිර සහ දකුණ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික (විශ්‍රාම වැටුප්), කොමදෝරු අධිකාරී සැපයුම් හා සේවා (උතුර), අධ්‍යක්‍ෂ නාවික අභ්‍යන්තර විගණන, අධ්‍යක්‍ෂ නාවික මිලදීගැනීම් හා සේවා, අධ්‍යක්‍ෂ නාවික විදේශ මිලදීගැනීම්, අධ්‍යක්‍ෂ නාවික ආහාර හා නිළ ඇඳුම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා ආදී ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.