අභිනව නාවික හමුදාධිපති මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු, අද දින (2022 දෙසැම්බර් 23) මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනිමින් නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගත් අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියද සහභාගී විය.

ඒ අනුව, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා හමුවීමෙන් අනතුරුව, ශ්‍රී දළදා සමිඳුන් වන්දනාමාන කල නාවික හමුදාධිපති, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගන්නා ලදී.

අද දින (2022 දෙසැම්බර් 23) නාවික හමුදාධිපති විසින් මල්වතු මහා විහාරයේදී, මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක, මහනුවර උපෝසික පුෂ්පාරාම විහාරාධිපති, අතිගෞරවාභිධාන, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක මාහිමිපානන් සහ මල්වතු මහා විහාර පාර්ශවයේ ගෞරව ශාස්ත්‍රවේදී අති පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලාභිධාන අනුනාහිමි හා අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනාහිමි යන අනුනාහිමිවරුන් බැහැදැක නමස්කාර පූර්වකව පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගන්නා ලදී.

අනතුරුව, අස්ගිරිය මහ විහාරයේදී, අස්ගිරිය මහා විහාර පාර්ශවයේ මහානායක, රාජකීය පණ්ඩිත, මහෝපාද්‍ය, අතිගෞරවාභිධාන වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥාණරතනාභිධාන මාහිමිපානන් බැහැදැක නමස්කාර පූර්වකව පිරිකර පූජා කර ආශිර්වාද ලබාගත් නාවික හමුදාධිපති, අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක සො‍ළොස්මස්ථානාධිපති, ශ්‍රාස්ත්‍රපති, අති පූජ්‍ය වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි නාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමටද කටයුතු කෙරිණි. එමෙන්ම, නාවික හමුදාධිපති විසින් අස්ගිරිය පරිවේනාධිපති, ශ්‍රාස්ත්‍රපති, පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක අනුශාසනා හා ආශිර්වාද ලබා ගැනීමටද එහිදී කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍ය ඉටුකරමින්, රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම, රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කිරීම සහ ආගමික සිද්ධස්ථාන රැකගැනීම වෙනුවෙන් නාවික හමුදාව මෙතෙක් සිදුකල කාර්යභාරය ඒ ආකාරයෙන්ම ඉදිරියටත් අඛණ්ඩව සිදුකිරීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ මහා නාහිමිවරුන් ඇතුළු ගරුතර මහා සංඝරත්නය විසින් අභිනව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත අනුශාසනා කර, ඒ සඳහා ශක්තිය, ධෛර්යය, බලය හා තෙරුවන්ගේ පිහිට හා ආරක්‍ෂාව නිරතුරුව ලැබේවායි ආශිර්වාද කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටින ලදී.