නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය නාවික හමුදා මූලස්ථානයේ දී උත්කර්ශවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2022, "May your days be merry and bright and may all your Christmases be white" යන තේමාව පෙරදැරිව දෙසැම්බර් මස 23 වන දින සන්ධ්‍යාවේදී නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු නාවික හමුදාධිපති වරයෙකු වන දේශමාන්‍ය අද්මිරාල් (විශ්‍රාමික) ඩීබී ගුණසේකර සහභාගි විය.

සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේදී අසිරිමත් නත්තල් උදාව වෙනුවෙන් නාවික හමුදා කැරොල් ගීත ගායනා සිදු කරනු ලබන අතර, වාර්ෂිකව සම්ප්‍රදායක් ලෙස මෙම වැඩසටහන පවත්වනු ලබයි. ඒ අනුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි දේශමාන්‍ය අද්මිරාල් (විශ්‍රාමික) ඩීබී ගුණසේකර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණිය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය ආරම්භ කෙරිණි.

නාවික හමුදාධිපතිගේ මඟපෙන්වීම යටතේ අසිරිමත් නත්තල් උළෙලට සමගාමීව සංවිධානය කරන ලද මෙම කැරොල් ගී ප්‍රසංගය සඳහා ගීත ගායනා ඉදිරිපත් කිරීම නාවික හමුදා පුද්ගලයින් සහ නාවික හමුදා පවුල්වල දූ දරුවන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් සිදුකරන ලද අතර, නාවික හමුදා වාද්‍ය වෘන්දයේ සහ නර්ථන කණ්ඩායමේ විචිත්‍රවත් ගායන සහ නර්තන අංගයන්ගෙන් ද ප්‍රසංගය වර්ණවත් විය.

අසිරිමත් නත්තල් උදාව වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙම කැරොල් ගී ප්‍රසංගය සඳහා විශ්‍රාමික නාවික හමුදාධිපතිවරුන් ඇතුළු විශ්‍රාමික නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, නාවික හමුදා ක්‍රීස්තියානි සංගමයේ සභාපති කොමදෝරු ප්‍රශාන්ත ඇන්තනී ඇතුළු ධජ නිලධාරීන්, නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් සහ නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, අසිරිමත් නත්තල් උදාව වෙනුවෙන් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අභියසදී 2022 දෙසැම්බර් මස 21 වන දින සන්ද්‍යාවේදී පැවැත්වුනු විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ, 2022 දෙසැම්බර් 22 වන දින රාත්‍රියේදී කොළඹ වරාය නගරය හා ත්‍රිවිධ හමුදාව එක්ව සංවිධානය කරන ලද කැරොල් ගී ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා නාවික හමුදා වාද්‍ය වෘන්දය සහ සංස්කෘතික නර්ථන කණ්ඩායම දායකත්වය දක්වන ලදි. මෙ‍හිදී, වරාය නගරයේ මැරීනා ජැටිය ඉදිරිපස මුහුදු තීරයේ නාවික හමුදා වෙරළබඩ මුර යාත්‍රා දෙකක් (02) විචිත්‍රවත් විදුලි ආලෝකයෙන් සරසා එම යාත්‍රා මත සිට කැරොල් ගීත ගායනා කීරීමද නාවික හමුදා වාදක අංශය විසින් සිදු කරන ලදි.

එමෙන්ම, නත්තල් උදාව වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය තුළ විශේෂ නත්තල් වැඩසටහනක් 2022 දෙසැම්බර් මස 20 වන දින සංවිධානය කරන ලද අතර, එහිදී නාවික තඨාකාංගණයේ ප්‍රධන දොරටුව ඉදිරිපස මෙන්ම තඨාකංගණය ඇතුළත සහ නිලධාරි නිවාසය තුළ කැරොල් ගීත ගායනා සිදු කිරීමත් තඨාකාංගණ පරිශ්‍රය විදුලි ආලෝකය සහිත විචිත්‍රවත් සැරසිලි මඟින් වර්ණවත් කිරීමටත් කටයුතු කෙරිණි.

නාවික හමුදා මුලස්ථානය

වරාය නගරය

නැගෙනහිර නාවික විධානය