අභිනව නාවික හමුදාධිපති අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු, 2022 දෙසැම්බර් මස 24 වන දින අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වන්දනාමාන කරමින් නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගත් අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියද සහභාගී විය.

ඒ අනුව, නාවික හමුදාධිපති පළමුව අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකර බැති සිතින් වන්දනාමාන කිරීමෙන් අනතුරුව, අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති පල‍්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී. අනතුරුව, ලංකාරාම, රුවන්වැලි මහ සෑ රදුන්, ජේතවනාරාමය, ඉසුරුමුණි රජ මහා විහාරය, අභයගිරිය රජ මහා විහාරය, ථූපාරාමය සහ මිරිසවැටිය වන්දනාමාන කිරීම සිදු කෙරුණු අතර, අනුරාධපුර පූජාභූමියේ සඳහිරු සෑ රදුන් වන්දනාමාන කිරීම සඳහාද එහිදී නාවික හමුදාධිපති බැති සිතින් සහභාගී විය.

තවද, නාවික හමුදාධිපති විසින් ලංකාරාම විහාරාධිකාරී උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක ස්වාමීන් වහන්සේ, රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත ඊතලවැටුනුවැවේ ඥාණතිලක මහා නායක ස්වාමීන් වහන්සේ, ජේතවනාරාම විහාරාධිකාරී පූජ්‍ය ඉහළහල්මිල්ලෑවේ රතනපාල නායක ස්වාමීන් වහන්සේ, ඉසුරුමුණිය රජමහ විහාරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන අධිකරණ සංඝනායක මටව ශ්‍රී සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ, අභයගිරි රජමහා විහාරාධිකාරී, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක ස්වාමීන් වහන්සේ, ථූපාරාම විහාරාධිකාරී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කහල්ලේ ඥානේන්ද්‍ර නායක ස්වාමීන් වහන්සේ සහ මිරිසවැටිය විහාරාධිකාරී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ බැහැදැක නමස්කාර පූර්වකව පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගන්නා ලදී.

රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට දායක වෙමින්, දේශය ගොඩනැඟීම සහ මතු පරපුර උදෙසා ආගමික සිද්ධස්ථාන රැකදීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කරනු ලබන සුවිශාල කාර්යභාරය ඇගයීමට ලක් කළ අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදාවේ එම කාර්යභාරය ඉදිරියටත් අඛණ්ඩව සිදුකිරීම සඳහා දායකත්වය ලබා දෙන මෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත අනුශාසනා කර, ඒ සඳහා ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ආශිර්වාදය සහ තෙරුවන්ගේ පිහිට හා ආරක්‍ෂාව නාවික හමුදාධිපති ඇතුළු සියළුම නාවික හමුදා පුද්ගලයන් වෙත නිරතුරුව ලැබේවායි සෙත් ප්‍රාර්ථනා කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම ඇතුළු නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටින ලදී.