වයඹ නාවික විධානයේ කණිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ කණිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් මස 23 වන දින විවෘත කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් ආනවාසල අනුඛණ්ඩය තුල මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු වයඹ නාවික විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පසුගිය 2020 වර්ෂයේ සැප්තැම්බර් මස ආරම්භ කරන ලදී. මෙම ගොඩනැගිල්ල තුල ස්ථාපිත කණිෂ්ඨ නාවිකයන්ගේ නවාතැන් පහසුකම් සහ පොදු භෝජනාගාරය ඇතුළු පුළුල් වන අනෙකුත් සුභසාධන පහසුකම් තුලින්, ඉදිරියේදී කණිෂ්ඨ නාවිකයන් වඩාත් කාර්යක්ෂමව නාවික හමුදාවේ කාර්යයන් සඳහා යෙදවීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු එම විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.