‘71 වන ජාතික ජීවිතාරක්‍ෂක ශූරතාවලිය - 2022’ හි මාස්ටර්ස් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමය මඟින් 2022 දෙසැම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදී නාරාහේන්පිට පොලිස් පිහිණුම් තඨාකයේදී සහ ගල්කිස්ස ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගම් මූලස්ථානය ඉදිරිපස වෙරළ තීරයේදී පවත්වන ලද ‘71 වන ජාතික ජීවිතාරක්‍ෂක ශූරතාවලිය - 2022’ හි මාස්ටර්ස් (Masters) ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායම සමත් විය.

පිහිණුම් තඨාක තරඟ ඉසව්ව සහ වෙරළ තරඟ ඉසව්ව වශයෙන් කොටස් දෙකකින් පැවැත්වුනු මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු දිවයිනේ ප්‍රකට ජීවිතාරක්‍ෂක කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගී වී සිටි අතර, නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායම නියෝජනය කරමින් නාවික පුද්ගලයන් 41 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.

ඒ අනුව, නාරාහේන්පිට පොලිස් පිහිණුම් තඨාකයේ පැවති තරඟ ඉසව් නවයක් (09) සහ ගල්කිස්ස වෙරළ තීරයේ පැවති වෙරළ තරඟ ඉසව් දහයක් (10) සඳහා සහභාගී වු නාවික හමුදා ක්‍රීඩකයින් අතරින් දස්කම් දක්වමින් ප්‍රධාන සුළු නිලධාරි එම්එස් පුෂ්පකුමාර, ප්‍රසුනි එස්ඒජී සෙනෙවිරත්න, සුළු නිලධාරි කේඑම්ඩීඑස් බණ්ඩාර, සුළු නිලධාරි ඩීඑම්ඒ දිසානායක, සුළු නිලධාරි ඒජීටීඑස් කුමාර, සුළු නිලධාරි ආර්ඒඑස්කේ රණතුංග, නායක පාබල ඩීඑම්ඒපී දිසානායක, නායක නැවි පීයූඑස් පලිහවඩන, නායක නැවි එච්පීඒ කුමාර, නායක නැවි බීජීබීඑන් බණ්ඩාර, නායක නැවි එස්එම්එච්පී සුභසිංහ, නායක නැවි ඒජීඩබ්කේඑන් සම්පත්, නායක නැවි ඩබ්ජීපී කුමාර, නායක නැවි කේජීඑල් කුමාර, නායක නැවි එච්පීටීඑස් ජයතිලක සහ බලනැවි එල්එම්එන් ප්‍රියදර්ශන විසින් ජයග්‍රහණ හිමි කර ගනිමින් ‘71 වන ජාතික ජීවිතාරක්‍ෂක ශූරතාවලිය - 2022’ හි මාස්ටර්ස් (Masters) ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තවද නාවික හමුදාව 2017, 2018, 2019 සහ 2020-2021 යන වර්ෂයන් හිදීද ජීවිතාරක්ෂක මාස්ටර්ස් ශුරතාවය දිනා ගැනීමට සමත් වු අතර, 2022 වර්ෂයේ ලද ජයග්‍රහනයත් සමග එම ශුරතාවය නාවික හමුදාව හිමිකරගත් පස්වන අවස්ථාව ලෙසද සනිටුහන් වේ.