72 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2022 ‍දෙසැම්බර් මස 27 වන දින වැලිසර, නාවික මහ රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය පසුගිය 2022 දෙසැම්බර් මස 09 වන දින ආගමික හා සමාජ සත්කාරක වැඩසටහන් වලට මුල්තැන දෙමින් අභිමානවත්ව සමරන ලදී.

ඒ අනුව, නාවික හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කළ ‍මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන, කොළඹ ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ සම්බන්ධීකරණය වී වැලිසර නාවික මහ රෝහලේදී පැවැත්විණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා බටහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදෙන ලදි.