නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 28) යුද හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හමුවිය.

ඒ අනුව, යුද හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා යුද හමුදා මූලස්ථානය වෙත පිළිගත් අතර, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව, යුද හමුදාධිපති හමුවූ පළමු නිල හමුව බවට මෙම හමුව සනිටුහන් විය. මෙම නිල හමුවේදී යුද්ධ හමුදාධිපති විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමා, ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබද අදහස් හුවමාරු කර ගන්නා ලදී.

තවද, මෙම පළමු නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.