නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ධම්මික කුමාර නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 02) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ධම්මික කුමාර බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නැගෙනහිර නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත භාර දීම සිදු කෙරිණි.

හිටපු ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත නැගෙනහිර නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව, නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරුණු අතර, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරීන් භාර ගැනීමට නියමිතව ඇත.

තවද, රියර් අද්මිරාල් ධම්මික කුමාර අද දින (2023 ජනවාරි 02) සිට නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ලෙස කටයුතු කරනු ඇත.