නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2022 දෙසැම්බර් මස 23 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා මූලස්ථානයේදී ඔහු වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, 1987 වර්ෂයේදී 17 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1989 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාළාව 1992 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, 1997 වර්ෂයේදී ජලතරණය සම්බන්ධ විශේෂඥතාව ඉන්දියාවේදී ලබා ඇති අතර, ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2021 වර්ෂයේ ජූලි මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, අධ්‍යක්‍ෂ ක්‍රීඩා, අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම්, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

තවද, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස එම ධූරයෙහි කටයුතු සිදුකරන අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයෙහිද රාජකාරී කටයුතු සිදුකරනු ඇත.