වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 05) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව වයඹ නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වෙත භාර දීම සිදු කෙරිණි.

හිටපු ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වෙත නාවික සම්ප්‍රදායානුකූලව වයඹ නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරුණු අතර, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා බටහිර නාවික විධානයේ ආඥාපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.