ශ්‍රී ලංකා නාවික හමුදාවේ 249 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 395 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 249 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 395 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 ජනවාරි මස 05 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් ජයනාත් ද සිල්වා ගේ ආරාධනයෙන්, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 249 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය නාවිකයින් 345 දෙනෙකු සහ ස්වේච්ඡා නාවිකයන් 50 දෙනෙකු මුලික පුහුණුව අවසානයේ විසිර ගිය අතර, මෙම පිරිස අතරට කාන්තා නාවිකයින් 17 දෙනෙකු ඇතුලත් විය. මෙම විසිර යාමේ පෙළපාලියේදී විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි අයිබී තෙන්නකෝන් හිමි කර ගන්නා ලද අතර, සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ආර්එම්ඒ මදුශාන් විසින් හිමිකර ගන්නා ලදී. තවද, ආධුනික නැවි ආර්එම්එම්එම්කේ රත්නායක විසින් දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය හිමි කරගත් අතර, දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි ජීසීටී ගුණතිලක විසින් හිමි කර ගන්නා ලදී. තවද, 249 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම ආධුනික අංශයට හිමි කුසලානය එහිදී ‘ගෝඨාභය’ අංශයට හිමිවිය.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක, පෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති තාක්‍ෂණයෙන් පිරිපුන් කාර්යශූර හා අභිමානවත් නාවික හමුදාවක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් එම ආධුනික නාවිකයන් වෙත සිය සුභාශිංෂණ පිරිනමන ලදි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, මව්බිමේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉතිහාසයේ සුවිශේෂි කාර්යභාරයක් සිදුකල බවත්, එම සැබෑ නිදහස අනාගත පරපුරට දායාද කර දීම විසිර යන ආධුනික නාවිකයන්ගේ වගකීම බවත් පවසන ලදී. විසිර යන ආධුනික නාවිකයන් මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරකිමින්, රටේ ආර්ථික ස්ථායීතාවය ගොඩනැඟීම සඳහා රටට අවශ්‍ය සාමය, සහජීවනය ඇති කිරීමට දායක වීම සියළු දෙනාගේ වගකීම බවත්, මත්ද්‍රව්‍ය උවදුරෙන් මාතෘභූමිය බේරා ගැනීමේ ඉදිරි මෙහෙයුමේ නිසැක කොටස්කරුවන් වීමට අදිටන් කර ගත යුතු බවත් පවසන ලදි.

තවද, මව්බිමට සේවය කිරීම සඳහා තම පුතුන් නාවික හමුදාවට භාරදුන් විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයින් වෙත සිය කෘතවේදීත්වය පිරිනමන බව පැවසූ රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක මෙම ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා කැපවූ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති ඇතුළු පුහුණු උපදේශක කාර්ය මණ්ඩලය වෙත ස්තූතිය පුද කිරීමටද කටයුතු කෙරිණි.

මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගී වී සිටියහ.