නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවකු වෙත ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක විසින් මීගස්ආර, ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවකු වෙත අද දින (2023 ජනවාරි 06) තංගල්ල, මාලිමා උත්සව ශාලාව සහ නාවික නිවාඩු නිකේතනයේදී ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර මඟින් තැලසීමියා රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ ශරීරය තුළ එක්රැස්වන රුධිරයේ අඩංගු වැඩිපුර යකඩ ඉවත් කිරීම සිදු කරනු ලබයි. වෙළදපොළෙහි මෙම නික්ෂේපණ යන්ත්‍ර මිලෙන් ඉතා අධික බැවින්, නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් ප්‍රථම වරට 2011 වසරේදී නිෂ්පාදනය කරන ලද අතර, මේ වන විට තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2774 ක ප්‍රමාණයක් දිවයිනේ ජාතික රෝහල් වෙත සහ තෝරාගත් තැලසීමියා රෝගී දරුවන් අතර අධියර කිහිපයක් යටතේ බෙදා හැරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා, එම දරුවාගේ දෙමව්පියන් ඇතුළු දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.