නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයන් අමතයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 ජනවාරි මස 11 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් සංවිධානය කල රුවල් යාත්‍රා තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමෙන් අනතුරුව, ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී නාවික හමුදාවේ ඉදිරි දැක්ම අභිප්‍රායන් හා මෙහෙයුම් සූදානම පිළිබඳව නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීමේ දේශනයක්, පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් නාවික හමුදාධිපති පිළිබඳ සිදුකල හැඳින්වීමේ දේශනයෙන් අනතුරුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ඉදිරි දැක්ම, අභිප්‍රායන් හා මෙහෙයුම් සූදානම පිළිබඳ නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් වෙනුවෙන් හරවත් දේශනයක් පවත්වන ලදි.

නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස අණසක භාරගැනීමෙන් අනතුරුව, නාවික හා සාගරික විද්‍යාපීඨය සංවිධානය කල රුවල් යාත්‍රා තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අවස්ථාවේ නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයන් ඇමතීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකන බව පවසමින් සිය දේශනය ආරම්භ කල නාවික හමුදාධිපති, රට මුහුණදී ඇති අභියෝගාත්මක කාලවකවානුවක් හමුවේ නාවික පුද්ගලයන් මනා කළමණාකාරීත්වයෙන් යුතුව තම කටයුතු පාලනයකින් සිදුකරමින් නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය නොපිරිහෙළා ඉටු කිරිමට අධිටන් කරගතයුතු බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා ඉතා දුශ්කර කාලවකවානුවකට මුහුණදී ලද අත්දැකීම් තුලින් වත්මන් දුශ්කර අභියෝගාත්මක කාලපරිච්ඡේදය ජයගැනීමට නාවික පුද්ගලයන්ට හැකියාව පවතින බවත්, ඒ සඳහා නාවික විනය සහ මනා පාලනය පවත්වා ගනිමින් අංශ ක්‍රමය වඩාත් ශක්තිමත් කරමින්, කණිෂ්ඨ නාවික පුද්ගලයන් වෙත අවශ්‍ය නායකත්වය හා මඟපෙන්වීම ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් ලබාදිය යුතු බවත් මෙහිදී නාවික හමුදාධිපති විසින් අවධාරනය කරන ලදි.

කුමන අභියෝගයක් හමුවේ වුවද නාවික හමුදාවට අනන්‍ය භූමිකාවන් ඉටුකරමින් ස්ථායී සාගර කලාපයක් නිර්මාණය කිරීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා නාවික හමුදාව නිරතුරුව සූදානමින් සිටින බව පැවසූ නාවික හමුදාධිපති, පසුගිය කාලවකවානුවේ සමාජයෙන් එල්ලවූ විවිධ බලපෑම් හමුවේ නොසැලී හමුදා පුද්ගලයන් ලෙස කටයුතු කරමින් රටේ ආරක්‍ෂාව සඳහා කැපවූ ආකාරයෙන්ම ඉදිරියටත් නාවික හමුදාවේ කාර්යය භාරය නොපිරිහෙළා ඉටුකිරීම සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්‍ෂා කරන බවත් සිය දේශනයේදී වැඩිදුරටත් අවධාරනය කරන ලදි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් නාවික හමුදාධිපති වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.

තවද, නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයන් වෙනුවෙන් සිදුකල දේශනයෙන් අනතුරුව, නාවික හමුදාධිපති නාවික හා සාගරික විද්‍යාපීඨයේ ස්ථාපිත වේග ප්‍රහාරක මුර යාත්‍රා පුහුණු ආදර්ශකයේ ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය සඳහා සහභාගී විය. එහිදී, මෙම පුහුණු ආදර්ශකයේ මෘදුකාංග සංවර්ධනය කල නායක නැවි ඩීඑම්ඒඑස් චාමර විසින් ආදර්ශ‍කයේ ක්‍රියාකාරීත්වය හා භාවිතය පිළිබඳ නාවික හමුදාධිපති වෙත කරුණු පැහැදිලි කරන ලදි. මෙම පුහුණු ආදර්ශකය Typhoon අවි පද්ධතිය පුහුණු කරවීම සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා හැසිරවීමේ පුහුණු කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය මෘදුකාංග පහසුකම් වලින් හා විශාල නෞකාවන්ගේ භාවිතා කරනු ලබන විද්‍යුත් සිතියම් මෘදුකාංගයන් ගෙන්ද සමංවිත වන අතර, මෙම පුහුණු ආදර්ශකය නාවික හමුදා නෞකාවන් හැසිරවීමට අදාල අනෙකුත් පුහුණු කටයුතු සිදුකිරීමටද හැකිවන පරිදි නව තාක්‍ෂණයට අනුව ඉදිරියේදී මෘදුකාංග සංවර්ධනය කරන ලෙසට එහිදී නාවික හමුදාධිපති විසින් පුහුණු කාර්ය මණ්ඩලය වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගීවී සිටි අතර, මෙම සංචාරය සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ත්‍රීකුණාමලය නාවික මැදුර පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමද සිදුකෙරිණි.