නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් හරීන්ද්‍ර ඒකනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් හරීන්ද්‍ර ඒකනායක සිය වසර 34 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් අද දින (2023 ජනවාරි 15) විශ්‍රාම යන ලදී.

ඒ අනුව, අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් හරීන්ද්‍ර ඒකනායක වෙත නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් උපන් දින සුභපැතුම් පිරිනැමීමෙන් පසු, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විසින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන පිරිනමන ලදි.

1988 වර්ෂයේදී 18 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් හරීන්ද්‍ර ඒකනායක, සිය සේවා කාලය තුළ නාවික හමුදා ආයතනයන් හා නෞකාවන්හි අණදෙන නිලධාරි ලෙස කටයුතු කර ඇත. තවද, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, අධ්‍යක්‍ෂ සැපයුම් කළමණාකරණ පද්ධති හා අධක්‍ෂ නාවික සංඥා, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී ගාලු වරාය, විනයාරක්‍ෂාධිපති සහ දකුණු නාවික විධානයේ ආඥාපති වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.