නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ ප්‍රථම නිල සංචාරයෙහි නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව, 2023 ජනවාරි මස 16 වන දින උතුරු නාවික විධානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලද අතර, එහිදී, නාවික හමුදාවේ ඉදිරි දැක්ම අභිප්‍රායන් හා මෙහෙයුම් සූදානම පිළිබඳව උතුරු නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීමේ දේශනයන්, පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම නිල සංචාරයේදී නාවික හමුදාධිපති ප්‍රථමයෙන් නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස නාහිමි බැහැදක, නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වන්දනාමාන කර ආශීර්වාද ලබාගැනීමට කටයුතු කෙරුණු අතර, යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී මීගහජඳුරේ සිරිවිමල හිමි සහ කන්කසන්තුරය තිස්ස විහාරයේ විහාරාධීපති පූජ්‍ය ගිංතොට නන්දාරාම හිමි බැහැදැක ආශීර්වාද ලබාගැනීමට ද කටයුතු කෙරිණි. අනතුරුව නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් සිදුකෙරෙන නව ඉදිකිරීම් නිරීක්‍ෂණය කර එම ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරුනු අතර, නාවික හමුදාධිපති එවකට උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතුකල වකවානුවේ ඔහුගේ සංකල්පයක් මත උතුරු විධාන ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් නව නිපැයුමක් ලෙස නිපදවන ලද වෙරළ නිරීක්‍ෂණ රථයෙහි ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය කිරීමද සිදුකෙරිණි.

උතුරු නාවික විධානායේ ආඥාපති, රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් විසින් නාවික හමුදාධිපති පිළිබඳ පිළිගැනීමේ දේශනය සිදුකිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් උතුරු නාවික විධානයේ නිලධාරීන් වෙනුවෙන් සහ නාවිකයන් වෙනුවෙන් හරවත් දේශනයන් පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස අණසක භාරගැනීමෙන් අනතුරුව, උතුරු නාවික විධානයේ ප්‍රථම නිල සංචාරය සිදුකර, උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයන් ඇමතීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකන බව පවසමින් සිය දේශනය ආරම්භ කල නාවික හමුදාධිපති, රට මුහුණදී ඇති දුෂ්කර කාලවකවානුව හමුවේ නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව රාජකාරී කලයුතු බව ප්‍රකාශ කරන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දූපත් රාජ්‍යක් ලෙස රටට එල්ලවන අභියෝග ජයගනිමින් සාගරය ඔස්සේ සිදුවන ආර්ථික කටයුතු සුරක්‍ෂිතව සිදුකිරීමේ ජාතික අභිලාෂය සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් ස්ථායී සාගර කලාපයක් නිර්මාණය කිරීම නාවික හමුදාවේ ප්‍රමුඛතම රාජකාරිය වන බවත්, නාවික හමුදාවේ සියළුම නාවික විධානයන් මඟින් ගොඩබිම් ප්‍රදේශ මෙන්ම ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ තීරය සහ මුහුදු තීරය ආවරණය වන පරිදි සාගරය ඔස්සේ ජාතික ආරක්‍ෂාවට වන තර්ජනයන් මැඩපැවැත්වීමට කැපවී සිටින බවත් ප්‍රකාශ කරන ලදි. විශේෂයෙන් උතුරු මුහුදු කළාපය ඔස්සේ සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා උතුරු නාවික විධානය සිදුකළ දායකත්වය ඇගයීමට ලක්කල නාවික හමුදාධිපති, එම දායකත්වය ඉදිරියටත් අඛණ්ඩව අපේක්‍ෂා කරන බව ප්‍රකාශ කරන ලදි.

නාවික හමුදාවේ ප්‍රමුඛ රාජකාරියට සමගාමීව රජයේ ජාතිය ගොඩනැගීමේ සංවර්ධන වැඩපිලිවෙලට නාවික හමුදාවේ පුහුණු ශ්‍රමය සහ ශිල්පීය දායකත්වය ලබාදීම ඉතාමත් කාලීන අවශ්‍යතාවයක් බව පැවසූ නාවික හමුදාධිපති, ස්වභාවික ආපදා තත්වයන් තුලදී මහජනතාවට සහන සැලසීම සඳහා මෙන්ම, ශ්‍රී ලංකාවට අයත් සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහාද නාවික හමුදාව සිදුකරන දායකත්වය සමාජයේ නිරන්තර ඇගයීමට ලක්වන බවත්, රට මුහුණදී ඇති දුෂ්කර කාලපරිච්ඡේදය හමුවේ වුවද නාවික හමුදාවේ කාර්යය භාරය නොපිරිහෙළා ඉටු කිරීමට සැමගේ කැපවීම අවශ්‍ය බවත් පවසන ලදි.

වත්මන් දුෂ්කර අභියෝගාත්මක කාලපරිච්ඡේදය ජයගැනීමට නාවික පුද්ගලයන්ට හැකියාව පවතින බවත්, ඒ සඳහා නාවික විනය සහ මනා පාලනය පවත්වා ගනිමින් අංශ ක්‍රමය වඩාත් ශක්තිමත් කරමින්, කණිෂ්ඨ නාවික පුද්ගලයන් වෙත අවශ්‍ය නායකත්වය හා මඟපෙන්වීම ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් ලබාදිය යුතු බවත් මෙහිදී නාවික හමුදාධිපති විසින් අවධාරනය කරන ලදි. එමෙන්ම, මෙම දුෂ්කර කාලපරිච්ඡේදයේදී තම පෞද්ගලික ආර්ථික කටයුතු මනාකළමණාකරනයකින් සහ පාලනයකින් යුතුව පවත්වා ගතයුතු බවත්, නාවික හමුදා සුභසාධන අංශය මෙන්ම නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින්ද නාවික පුද්ගලයන් වෙනුවෙන් සහන සැලසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් පවසන ලදි.

කුමන අභියෝගයක් හමුවේ වුවද නාවික හමුදාවට අනන්‍ය භූමිකාවන් ඉටුකිරීම උදෙසා නාවික හමුදාව කැපව සිටින බව පැවසූ නාවික හමුදාධිපති, විවිධ බාහිර බලපෑම් හමුවේ නොසැලී ඉදිරියටත් නාවික හමුදාවේ කාර්යය භාරය නොපිරිහෙළා ඉටුකිරීම සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්‍ෂා කරන බවත්, ඒ සඳහා නාවික හමුදාවේ දෛනික චර්යාවන් නිසි ලෙස පවත්වා ගනිමින් රාජකාරිය පිළිබඳ අවබෝධයෙන් හා කැපවීමෙන් කටයුතු කලයුතු බවත් පවසන ලදි. එමෙන්ම, නාවික හමුදාවේ රාජකාරීන් සඳහා නාවිකයින් සමානාත්මතාවයෙන් යුතුව යෙදවීමේ නාවික හමුදාවේ ප්‍රතිපත්තියට අනුව ඉදිරියේදී කාන්තා නාවික පුද්ගලයන් හටද නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්තව රාජකාරී සිදුකිරීමේ අවස්ථාව හිමිවන බවත්, තම හැකියාවන් තුලින් නාවික හමුදාවට සුවිශේෂී දායකත්වයක් දැක්වීමට එමගින් කාන්තා නිලධාරීන්ට සහ නාවිකයන්ට අවස්ථාව ලැබෙන බවත් පවසන ලදි.

තවද, යාපනය චුන්නාකම් හි පදිංචි රාජකීය ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර 1974 වර්ෂයේදී විශ්‍රාම ගොස් ඇති නායක නැවි එම් කනගරත්නම් හමුවී ඔහුගේ සුවදුක් විමසීමද නාවික හමුදාධිපති ගේ උතුරු නාවික විධාන සංචාරයේදී සිදුකෙරිණි.