35 වන සරඹ උපදේශක පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 35 වන සරඹ උපදේශක පාඨමාලාවට අනුයුක්තව පුහුණුව ලැබූ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 20 දෙනෙකු එම පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කරමින් සරඹ උපදේශකයින් ලෙස විසිරයාම, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී එම විද්‍යාපීඨයේ අඥාපති, කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ජනවාරි 19) සිදුකෙරිණ.

2022 අ‍ගෝස්තු මස 01 වන දින සිට මාස 6 ක කාලයක් පැවති මෙම පාඨමාලාව සඳහා කාන්තා නාවිකයන් හය දෙනෙකු (06) ඇතුළුව ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් විසි දෙනෙකු (20) සහභාගීවිය. මෙම පාඨමාලාව, වැඩිම කාන්තා නාවිකයන් පිරිසක් එකවර සරඹ උපදේශකයන් ලෙස විසිර යාම සහ සරඹ උපදේශක පාඨමාලාවකදී දක්ෂතම සරඹ උපදේශකයාට හිමි තඹ ආලේපිත දම්වැල සහ නලාව කාන්තා සරඹ උපදේශකයෙකු විසින් හිමි කරගත් පළමු පාඨමාලාව ලෙසද සනිටුහන් විය.

ඒ අනුව, 35 වන සරඹ උපදේශක පාඨමාලාවේ දක්‍ෂතම සරඹ උපදේකයාට හිමි තඹ ආලේපිත දම්වැල සහ නලාව සාමාන්‍ය කාන්තා නැවි ඩීඡීපීබී කුලසූරිය විසින් හිමි කර ගන්නා ලද අතර, පාඨමාලාව සම්පූර්ණ කළ සියළුම ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් වෙත සරඹ උපදේශකයින් සඳහා හිමි පියවර කෝදුව සහ නලාව ලබාදීම එහිදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ අඥාපති, කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව විසිර යන ලද සරඹ උපදේශකයින් විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් ද සමංවිත වූ අතර, එම අවස්ථාව සඳහා ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.