CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව කොළඹ දී සහ ත්‍රීකුණාමලයේදී

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව, කොළඹ වරාය පරිශ්‍රයේදි සහ ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනය පරිශ්‍රයේදී අද දින (2023 ජනවාරි 19) ආරම්භ විය.

කොළඹ වරාය පරිශ්‍රයේ USS Anchorage නෞකාවට යාබදව පැවති ආරම්භක අවස්ථාව, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා දූත මණ්ඩල ප්‍රධානී හා 7 වන ඩිස්ට්‍රෝයර් බලඝණයේ නියෝජ්‍ය අණදෙන නිලධාරී, කපිතාන් සීන් ලුවිස් ගේ (Captain Sean Lewis, Deputy Commodore Commander, Destroyer Squadron Seven) ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති ආරම්භක අවස්ථාව නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ සහ ඇමරිකානු නාවික හමුදාවේ Lieutenant Max Cutchen ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නිදහස් ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාම, කලාපීය ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය හවුල්කාරිත්වය පවත්වාගෙන යාම හා ශක්තිමත් කිරීම මෙන්ම සමුද්‍රීය අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම CARAT ද්වීපාර්ශ්වික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගීවන අතර, ඒ සඳහා ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකාය (Japan Maritime Self-Defense Force) සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය ද (Maldives National Defence Force) සහභාගී වීමට නියමිතව ඇත.

මෙම අභ්‍යාසයේ ගොඩබිම් සහ මුහුදු අධියර යටතේ 2023 ජනවාරි මස 21 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වෙන පුහුණු හුවමාරු අභ්‍යාසයන් කොළඹ, ත්‍රිකුණාමලය සහ මුල්ලිකුල්ලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරු හා ඒ ආශ්‍රිත මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, මෙහි මුහුදු අධියර සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සමුදුර යන ගැඹුරු මුහුදු අවේක්‍ෂණ නෞකාවන් සහභාගීවේ.

CARAT අභ්‍යාසය මඟින් ඉන්දීය සහ ශාන්තිකර සාගර කලාපයේ සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝගයන් සඳහා එක්ව ක්‍රියා කිරීමට සහ ක්‍රීඩා, සංස්කෘතික සහ තොරතුරු හුවමාරු කරගැනීම් හරහා පාර්ශ්වකරුවන් අතර ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම අපේක්‍ෂා කෙරේ. ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම අභ්‍යාසය සඳහා මෙවර සිව්වන වරට සහභාගී වන අතර, මෙවැනි අභ්‍යාසයන් සඳහා සහභාගීවීම මඟින් කලාපීය සහ කලාපීය නොවන සමුද්‍රීය පාර්ශ්වකරුවන් අතර හුවමාරු කරගන්නා නව දැනුම කුසලතා සහ අත්දැකීම් තුලින් වැඩිදියුණුවන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය, ඉදිරියේදී පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.

එමෙන්ම, මෙම අභ්‍යාසයට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ ඇමෙරිකා එක්සත් ජනපද 7 වන නෞකා සමූහයේ (US 7th Fleet ) සංගීත කණ්ඩායම එක්ව 2023 ජනවාරි මස 20 වන දින පස්වරු 0600 පැයේ සිට කොළඹ ගාලු මුවදොර පිටියේදී සහ කොළඹ ප්‍රදීපාගාරය අසලදීත්, 2023 ජනවාරි මස 21 වන දින කොළඹ Dutch Hospital පරිශ්‍රයේදීත්, 2023 ජනවාරි මස 22 වන දින කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදීත්, 2023 ජනවාරි මස 23 වන දින බත්තරමුල්ල දියත උයනේදීත්, 2023 ජනවාරි මස 24 වන දින නිදහස් චතුරශ්‍රයේදී සහ 2023 ජනවාරි මස 25 වන දින කොළඹ One Galle Face පරිශ්‍රයේදීත් ප්‍රසංග මාලාවක් පැවැත්වීමටද සැලසුම් කර ඇත.