CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය යටතේ සිදුකෙරෙන මැරීන් අභ්‍යාසය මුල්ලිකුලම් හීදී ආරම්භ වෙයි

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාසය (Marine Exercise - MAREX) අද දින (2023 ජනවාරි 21) ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් සංජීව කොඩිකාර ගේ සහ ඇමරිකා එක්සත් ජනපද හතරවන මැරීන් බලඝණයේ, දෙවන බලඇණියේ අණදෙන නිලධාරී, කපිතාන් ශාන් මන්ඩ්‍රයාර් (Captain Shan Mandrayar) ගේ ප්‍රධානත්වයෙන් මුල්ලිකුලම් හීදී ආරම්භ විය.

ඒ අනුව, CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ ගොඩබිම් අධියර ආරම්භ කරමින් අද දින (2023 ජනවාරි 21) සංග්‍රාමික අවස්ථාවකදී තුවාලකරුවන් සඳහා පහසුකම් සැලසීම (Tactical Combat Casualty care - TCCC) සංග්‍රාමික අවස්ථාවකදී ජීවිත බේරාගැනීම (Combat Life Saving - CLS), කැළැබද සටන් සහ නගර බද භූමියක හමුදා මෙහෙයුම් හා මුදවා ගැනීමේ මෙහෙයුම් (Military Operation in Urban Terrain – MOUT & Rescue Operation) පිළිබඳ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය, නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, නාවික පාබල අංශය සහ ඇමරිකානු මැරීන් බලඝණය එක්ව න්‍යායික සහ ප්‍රායෝගික අභ්‍යාස සිදුකෙරිණි.