ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මඩ් සෆ්ඩාර් ඛාන් (Colonel Muhammed Safdar Khan) අද දින (2023 ජනවාරි 25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

මෙම නිල හමුවේදී ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත සුභපැතුම් පිරිනමන ලදි. අනතුරුව, ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් පකිස්ථානු ආරක්‍ෂක උපදේශක වෙත සමරු තිලිණයක් ලබාදීමද සිදුකෙරිණි.