සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය (CARAT–2023) සාර්ථකව නිමාවට පත් වෙයි

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පවත්වන ලද සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසය 2023 ජනවාරි මස 19 වන දින සිට 2023 ජනවාරි මස 25 වන දින දක්වා කොළඹ, ත්‍රීකුණාමලය සහ ‍මුල්ලිකුලම් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනු අතර, එය අද දින (2023 ජනවාරි 26) සාර්ථකව නිමාවට පත්විය.

ඒ අනුව, අද දින (2023 ජනවාරි 26) කොළඹ වරාය පරිශ්‍රයේ USS Anchorage නෞකාවේ පැවති CARAT - 2023 අභ්‍යාසයේ අවසන් උත්සව අවස්ථාව, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලි චන්ග් මැතිණිය ගේ සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ (U.S. 7th Fleet) උප අණදෙන නිලධාරි Rear Admiral Joaquin J. Martinez de Pinillo ගේ ප්‍රධානත්වයෙන්ද, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී පැවති අවසන් උත්සව අවස්ථාව නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ සහ ඇමරිකානු නාවික හමුදාවේ Lieutenant Max Cutchen ගේ ප්‍රධානත්වයෙන් ද, මොල්ලිකුලම් හි පැවති අවසන් උත්සව අවස්ථාව 2023 ජනවාරි මස 25 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් ගේ සහ ඇමරිකා එක්සත් ජනපද හතරවන මැරීන් බලඝණයේ, දෙවන බලඇණියේ අණදෙන නිලධාරී, කපිතාන් ශාන් මන්ඩ්‍රයාර් (Captain Shan Mandrayar) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීමද සිදු කෙරිණි.

නිදහස් ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාම, කලාපීය ආරක්‍ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය හවුල්කාරීත්වය පවත්වාගෙන යාම හා ශක්තිමත් කිරීම මෙන්ම සමුද්‍රීය අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් පැවැත්වූ CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වූ අතර, මෙම අභ්‍යාසයේ නිරීක්‍ෂකයන් ලෙස ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකාය (Japan Maritime Self-Defense Force) සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය (Maldives National Defence Force) නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

මෙම අභ්‍යාසය ගොඩබිම් සහ මුහුදු අධියර වශයෙන් ‍අධියරයන් දෙකක් (02) යටතේ පැවැත්වූනු අතර, එහි මුහුදු අධියර සඳහා ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සමුදුර යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් එක්විය. මුහුදු අධියරෙහිදි, සංග්‍රාමික අවස්ථාවකදී යුද නෞකා උපායික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාස (Divisional Tactics - DIVTACs), මුහුදෙන් සහ ගුවනින් නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure - VBSS/ Helicopter Visit, Board, Search and Seizure – HVBSS), නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සූදානම් වීම (Replenishment at Sea - RAS), ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම් (Overhead Reconnaissance), හෙලිකොප්ටර් යානා මඟින් නෞකා අතර භාණ්ඩ හා පිරිස් හුවමාරු කර ගැනීමේ අභ්‍යාස, දිවා රාත්‍රී සහ ගුවන් වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස (GUNEX), නෞකා සංග්‍රාමික පෙළ හැඩ ගුවනේ සිට ජායාරූප ගැනීම (PHOTOEX), යුද නෞකා අතර ආචාර සමාචාර කිරීම (Steam Past) ඇතුළු අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලදී.

CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ ගොඩබිම් අධියර යටතේ සිදු කෙරුණු මැරීන් අභ්‍යාස (Marine Exercise - MAREX) මුල්ලිකුලම් වෙරළ සහ මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද අතර, එහිදී සංග්‍රාමික අවස්ථාවකදී තුවාලකරුවන් සඳහා පහසුකම් සැලසීම (Tactical Combat Casualty care - TCCC) සංග්‍රාමික අවස්ථාවකදී ජීවිත බේරාගැනීම (Combat Life Saving - CLS), කැළෑබද සටන් සහ නගරබද භූමියක හමුදා මෙහෙයුම් හා මුදවා ගැනීමේ මෙහෙයුම් (Military Operation in Urban Terrain – MOUT & Rescue Operation), මානුෂීය ආධාර සහ ආපදා සහන අභ්‍යාස (Humanitarian Assistance & Disaster Relief), වන අභ්‍යාස, දිවා රාත්‍රී මුර සංචාර හා රැක සිට පහරදීම, වෙඩි තැබීම සහ ආත්මාරක්‍ෂක සටන් පිළිබඳ අභ්‍යාස සිදු කෙරුණු අතර, ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලකාය සමඟ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය, නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සහ නාවික පාබල අංශය අංශය සහභාගී විය.

CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණ‍ය කේන්ද්‍ර කර ගනිමින් පැවති අභ්‍යාසයේදී විශේෂ යාත්‍රා බලඝණයේ මෙහෙයුම් අභ්‍යාස, කිමිදුම් හා ගලවා ගැනීමේ අභ්‍යාස සිදු කෙරිණි. එහිදී පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාස (Explosive Ordnance Disposal Exercise), කිමිදුම් හා ගලවා ගැනීමේ අභ්‍යාස (Diving and Salvage Exercise), ගංඟා ආශ්‍රිත අභ්‍යාස (Revering Exercise), මුහුදු බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාස, නියමුවන් රහිත කුඩා ගුවන් නිරීක්‍ෂණ යානා පද්ධතිය සම්බන්ධ අභ්‍යාස (Small Unmanned Aircraft System - SUAS) යන අභ්‍යාස සාර්ථකව පැවැත්විණි.

තවද, CARAT – 2023 අභ්‍යාසයට සමඟාමීව නීතිය හා සාමය, කාන්තා භූමිකාව, සමුද්‍රීය නීතිය බලගැන්වීම පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවක්ද, පාර්ශ්වයන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රීඩා වැඩසටහන්ද, පාර්ශ්වකරුවන් අතර සංස්කෘතික හුවමාරුව තුලින් සහයෝගීතාවය ගොඩනැගීම වෙනුවෙන් සංගීත ප්‍රසංග මාලාවක්ද ඇමරිකානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශ්වයන් ගේ දායකත්වයෙන් පැවැත්විණි.

ලොව නවීන තාක්‍ෂණික උපාංග සහ මෙවලම් භාවිතා කරනු ලබන ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංකීර්ණ ‍සාගරික මෙහෙයුම් අවස්ථාවන්හීදී නෞකාවන් අතර සන්නිවේදන කටයුතු සිදු කිරීම මෙන්ම, සාගරික මෙහෙයුම් සඳහා සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා සම්බන්ධීකරණය කරගන්නා ආකාරය සම්බන්ධ අත්දැකීම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි මෙහෙයුම් කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කර ගැනීම සඳහාත්, මෙවැනි අභ්‍යාසයන් මඟින් හුවමාරු කරගන්නා නව දැනුම කුසලතා සහ අත්දැකීම් තුලින් වැඩිදියුණුවන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය තුළින් ඉදිරියේදී සාගර කළාපයේ සාම්ප්‍රදායික නොවන මුහුදු තර්ජන ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහාත් ශ්‍රී ලංකා නාවික හමුදාවට මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය තාන්‍ත්‍රික නිලධාරීන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, සාගල රත්නායක මහතා ඇතුළු රජයේ මැති ඇමතීන් සහ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.