CARAT – 2023 ද්වීපාර්ශ්වීය අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් ‘USS Anchorage’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ ද්වීපාර්ශ්වීය නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සාර්ථකව සහභාගීවීමෙන් අනතුරුව, අද දින උදෑසන (2023 ජනවාරි 27) දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ‍කොළඹ වරායේදී එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම සිදු කෙරිණි.

2023 ජනවාරි මස 19 වන දින දිවයිනට සේන්දු වූ ‘USS Anchorage’ නෞකාව, 2023 ජනවාරි මස 26 වන දින දක්වා CARAT - 2023 ද්වීපාර්ශ්වීය අභ්‍යාසය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සමුදුර යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් සමඟ එක්ව බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී එම නෞකාවට අනුයුක්ත හෙලිකොප්ටර් යානාද උපයෝගී කර ගනිමින් නාවික අභ්‍යාස රැසක් සාර්ථකව සිදු කිරීමෙන් අනතුරුව, මෙලෙස අද දින (2023 ජනවාරි 27) දිවයිනෙන් පිටත්ව යන ලදී.

මෙවැනි නවීන තාක්‍ෂණික උපාංග සහිත යුද නෞකා සමඟ සිදු කරනු ලබන නාවික අභ්‍යාස මඟින් විදේශීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය හා සුහදශීලීත්වය වර්ධනය කරගැනීම මෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම අපේක්‍ෂා කරන අතර, එමඟින් ඉදිරියේදී සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇත.