නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 951 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය සෙල්ල කතරගම දී ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 951 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා විහාරය පරිශ්‍රයේ දී දකුණු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ජනවාරි 29) විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟ පෙන්වීම මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ලබන සුවිශාල සමාජ මෙහෙවරකි.

ඒ අනුව, සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා විහාරය පරිශ්‍රයේ ඉදිකර අද දින (2023 ජනවාරි 29) මෙලෙස ජනතා අයිතියට පත් කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මඟින් සෙල්ල කතරගම ප්‍රදේශයේ පවුල් 450 කගේ පමණ සහ බැතිමතුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන් මහා විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය හීල්ලේ ඤාණානන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍ය‍යේ මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීම සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගීවී සිටියහ.