“අමාන් - 2023” බහුපාර්ශවික සාගරික අභ්‍යාසයට සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලැබූ අමාන් - 2023 (AMAN - 2023) බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අමාන් - 2023 බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සාර්ථකව නිමාකර අද දින (2023 පෙබරවාරි 20) කොළඹ වරායට සේන්දූ වූ අතර, නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදුර නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.

2023 පෙබරවාරි මස 10 වන දින සිට 14 වන දින දක්වා පාකිස්ථානයේ කරච්චි අගනුවර සහ අරාබි මුහුද කේන්ද්‍ර කරගනිමින් පැවති අමාන් - 2023 බහු පාර්ශවික නාවික අභ්‍යාසය සඳහා රටවල් 50 ක් නියෝජනය කරමින් විශේෂ බළකා, ගුවන් හමුදා යානා සහ යුද නෞකා සහභාගී විය. මෙම අභ්‍යාසය නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නියෝජනය කරමින්, නාවික හමුදා දියත් විධානයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් නිශාන්ත අමරෝස සහභාගී වූ අතර, ඔහු සහ පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් අම්ජාඩ් ඛාන් නිආසි (Chief of the Naval Staff of Pakistan Navy Admiral Amjad Khan Niazi) අතර නිල හමුවක් ද පැවැත්විණි. තවද, පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී විසින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නොකාවේ චාරිකාවාරයක නිරත වූ අතර, එහිදී සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී සහ පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

AMAN – 2023 අභ්‍යාසය මඟින් ඉන්දියානු සාගර කලාපයේ සාමය හා ආරක්‍ෂාව පවත්වා ගැනීම මූලිකව අපේක්‍ෂා කෙරේ. ඒ අනුව, මෙම නාවික අභ්‍යාසය වරාය අදියර (Harbour phase) සහ මුහුදු අදියර (Sea phase) වශයෙන් අදියර දෙකක් යටතේ පැවති ඇති අතර, එහිදී සාගරික ආරක්‍ෂක අභ්‍යාස, මානුශීය සහන සැලසීමේ අභ්‍යාස, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සූදානම් වීම, නෞකා සංග්‍රාමික පෙළහැඩයන් ඔස්සේ ගමන් කිරීම, වෙඩි තැබීමේ අභ්‍යාස, නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure – VBSS) ඇතුළු නාවික අභ්‍යාස රැසක් සඳහා සමුදුර නෞකාව සහභාගී විය.

කළාපීය හා කළාපීය නොවන විදෙස් නාවික හමුදාවන් රැසක් සහභාගී වූ මෙම බහුපාර්ශවික සාගරික අභ්‍යාස සඳහා සහභාගී වීම මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සාගරික මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, ක්‍රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.

තවද, සමුදුර නෞකාව කොළඹ වරායට සේන්දු වන අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කපිතාන් අශෝක වීර‍සේකර සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රීලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඩීඑම්ඩීසී බංඩාර විසින් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් වෙත සමරු තිළිණයක් පිරිනැමීමද සිදුකෙරිණි.