ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 19 වන දින දෙදින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 21) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී.

මෙම නිල සංචාරය අතරතුර ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේ දී පැවැත්වුනු අතර, නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාවේදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමද සිදුකෙරිණි.

ඒ අනුව, නිල සංචාරය නිමා කළ ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව අද දින (2023 පෙබරවාරි 21) උදෑසන නාවික හමුදා සම්ප්‍රදායනුකූල සමුදීම මධ්‍යයේ දිවයිනෙන් පිටත්ව යන ලදී.