නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Ideal Motors සමාගම විසින් දේශීයව නිර්මාණය කර එකලස් කරන ලද විශේෂිත මාදිලයේ මෝටර් රථ 03 ක් (All Terrain Vehicles - ATV) එම සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත නිළ වශයෙන් භාරදීම 2023 පෙබරවාරි මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයක් මත වෙරළ හා කලපු ආශ්‍රිත භූමි ප්‍රදේශයන්හි සහ ඕනෑම රළු භූමියක නාවික හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළහැකි අයුරින් මෙම රථ නිෂ්පාදනය කිරීම සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් නාවික හමුදා මැරීන් බළඝණය විසින් සිදුකරනු ලබන වෙරළ හා කලපු ආශ්‍රිත ආරක්‍ෂක මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සහ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව සිදුකරනු ලබන නීති විරෝධී කටයුතු මැඩපැවත්වීමේ මෙහෙයුම් ඇතුළු මෙහෙයුම් කටයුතු වෙනුවෙන් මෙම රථ ඉදිරියේදී කාර්යක්‍ෂම හා ඵලදායි ලෙස යෙදවීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම, අධ්‍යක්‍ෂ මැරීන් කොමදෝරු සනත් පිටිගල ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා Ideal Motors සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.