සාගර කළාපය ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා දේශිය ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

මෙරට සාගර කලාපයේ නීතීවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, සුසන්ත කහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි මස 23 වන දින කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී පැවැත්විණි.

දේශිය ධීවර ප්‍රජාවගෙන් සුළු පිරිසක් විසින් සිදුකරනු ලබන නීති විරෝධි කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ සාගරය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම ඇතුළු නීතිවිරෝධි කටයුතු මැඩපැවැත්වීම සඳහා ධීවර ප්‍රජාව සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන අතර සහයෝගීත්වය වර්ධනය කිරීම, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් අපේක්ෂා කරන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම, සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර පරීක්‍ෂකවරුන් සහ හලාවත සිට හම්බන්තො‍ට දක්වා වූ ධීවර සංගම් නි‍යෝජනය කරමින් නියෝජිතයින් පිරිසක්ද මේ සඳහා සහභාගී වී සිටියහ.