පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි අද දින (2023 පෙබරවාරි 25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී සිව්දින (04) නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි අතර, එහිදී බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා විසින් ඔහු උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානයට පිවිසි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පිරිනමන ලදී. අනතුරුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු ඔහු වෙත නාවික හමුදා කළමණාකරන මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කෙරිණි.

මෙම නිල හමුවේදී, පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ නාවික හමුදාවන්ට අදාල වැදගත් කරුණු සහ දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

එමෙන්ම, මෙම නිල හමුව සනිටුහන් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීමද සිදු කෙරිණි.

පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී ගේ, මෙම නිල සංචාරයේදී ඔහු ගරු ජනාධිපති, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද සහ ගුවන් හමුදාධිපතිවරුන් හමුවීමටත්, නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංචාරය කිරීමට ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතව ඇත. තවද, සිව්දින නිල සංචාරය නිමා කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී, 2023 පෙබරවාරි මස 28 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.